‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප‍‍්‍රතිචාර ගැන සජිතගෙන් අමුතු කතාවක්

පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ජීවය දෙන සජිත ඇන්තනී සමග දීර්ඝ කතාබහක නියැළුණා. මොකද ඔහුගේ හැකියාවන් තුළින් රංගනය, ගායනය වගේම නිවේදනය වැනි විවිධ පරාසයන් කලාවෙන් දකින්න ලැබෙනවා. ඉතින් පහතින් පෙළගැසෙන්නේ ඒ කතාබහේ පෙළගැස්මයි.

පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ඒකට විශාල ප්‍රතිචාර ලැබෙනවා. තවම කොටස් 15ක් 20ක් වගේ ප්‍රමාණයක් විකාශය වුණේ. මේ ටෙලි නාට්‍යය පුදුම විදිහට ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. මේක මට ලැබුණු වෙනස්ම විදිහේ චරිතයක්. කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකුගේ චරිතයක් තමයි මම මෙහි රඟපාන්නේ. හැබැයි ගොඩක් සල්ලි තියෙන තාත්තෙකුගේ පුතෙක් වුණාට ඒ පුතාට ඒවායේ කිසි වටිනාකමක් නැහැ. සල්ලාලයෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. මේ පිටපත කියවද්දිම මට ආස හිතුණා. තව මම ඇත්තටම නැවත මෙගා නාට්‍යවල රඟපාන්නේ නැහැ කියන තීරණයක හිටියේ. ආයේ පාරක් වැඩේ කියන්නේ එවැනි පිටපතක් හම්බවුණාහම බැහැයි කියන්නත් බැහැ. අනික නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් මට මෙගා නාට්‍ය කෙරෙහි තිබුණු බය නැතිවෙලා ගියා. මම ආස වුණා මෙගා නාට්‍යවලට. තව කුසල් මදුරංගත් එක්කත් රඟපාන්න ලැබීමත් වෙනම විදිහක අත්දැකීමක්. කුසල් කියන්නෙත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ වේදිකාවේදිම හමුවුණු හොඳ සහෝදරයෙක්. කුසල් එක්ක මෙහෙම වැඩක් කරන ප්‍රථම අවස්ථාව. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ පාරදිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩාගේ චරිතයෙන් කුසලුත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරාගේ චරිතයෙන් මමත් ආදී වශයෙන් වෙන විදිහකට අපි දෙන්නම ප්‍රේක්ෂකයෝ අතරට ගියානේ. අපි දෙන්නම එකට වැඩ කරන නිසා ටෙලි නාට්‍ය ජනප්‍රිය වෙන්න එකත් එක හේතුවක් වෙන්න ඇති. මම හරි ආසාවෙන් ඒ චරිතය කරන්නේ. ඕකේ හොඳ හොඳ සෙල්ලම් එන්නේ ඉස්සරහට.

මෙගා නාට්‍යයක් භාරගන්නේ නැහැ කියන අදහස වෙනස් කළේ ඇයි?

මට ඇත්තටම බැහැයි කියලා තීරණයකට එන්න හේතුව තමයි මේ කාලය තියෙන ප්‍රශ්නය. විශේෂයෙන්ම මට ආදරය කරන, ආසා කරන කලා කීපයක් තිබෙනවා. මම හරි ආසයි රංගනයට, ගායනයට වගේම සංගීත නිර්මාණය කරන්න. අධ්‍යක්ෂණයට, නිවේදනයට, ලියන්න. ඉතින් මේ හැම දෙයකටම ආස වුණාම කාලය සීමිතයිනේ. කාලය අපි ඕවායින් එක වැඩකට පාවිච්චි කළාට පස්සේ ඒකේ අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් තිබෙනවා. ජීවිතයේ අපි තෝරාගැනීම් කරද්දි හරි පරිස්සමට කරන්න ඕනෑ. විශේෂයෙන් මම තෝරාගැනීම් කරද්දි මෙගා නාට්‍යවලට නැතිනම් මට විරුද්ධ වෙන්න වෙන හේතු නැහැ. විරුද්ධ වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි විශාල කාලයක් තිස්සේ එකම චරිතයක් විදිහට හැසිරෙන්න වීම. ඉතින් එතකොට චිත්‍රපටයකට මගේ පෙනුම වෙනස් කරන්න අවශ්‍ය වුණොත් ඒක කරන්න ලොකු ගැටලුවක් වෙනවා. මට හැමදාම එකම පෙනුමකින් ඉන්න වෙනවා. නාඩගම්කාරයෝ තමයි මම දීර්ඝවම කරපු වැඩේ. පස්සේ සරා කියන එක මිනිසුන්ට ගොඩක් ළංවුණාට පස්සේ සජිත කවුද කියලත් මිනිස්සුන්ට අමතක වෙන එක තරමට ගියා. හැමකෙනකුට ඒක එච්චර වාසි සහගත නැහැ. නළුවකුට කටුස්සෙක් වගේ එක එක චරිතවලට ටක් ටක් ගාලා මාරුවෙන්න පුළුවන් වුණා නම් ඒ අවකාශය ලැබුණා නම් හොඳයි. මෙගාවල එහෙම බැහැ. අපි නාට්‍යයක් කරන්න ගත්තොත් දිගු කාලයක් කරන්න එපායැ. මේ නාට්‍යයේ ලොකු වෙනසකට මම ගිහිල්ලා නැහැ. අනික අධ්‍යක්ෂතුමා මට මාර අවසරයක් දුන්නා මොකක් හරි වෙන වැඩකට අවශ්‍ය වුණොත් ඒ කාලය හදලා දෙන්නම් කියලාත්. ශිවගුරුනාදන් අධ්‍යක්ෂතුමා සහ බුද්ධික සේමසිංහ වැඩකට කතා කළාම ප්‍රතිපත්ති ලිහලා දුවන්න හිතෙනවා. මම මේ නාට්‍ය භාරගැනීම ගැන සන්තෝෂයි.

පසුගිය දවස්වල සජිත ඇන්තනී කියන ගායකයාවත් හරියට ඉස්මතු වුණා?

ඒක ඇත්තටම මම පුංචි කාලේ ඉඳලා මම ආසා කරන මගේ තව ධාරාවක්. පුංචිම කාලේ හපන් පැඳුර කියන ළමා වැඩසටහනේ දෙවැනි කණ්ඩායමෙන් තමයි මම ළමා ගායකයෙක් විදිහට ඉදිරිපත් වුණේ. හැබැයි මම විවාහ වුණාට පස්සේ තමයි මගේ සින්දු ටික එළියට ආවේ. ඒ කියන්නේ ස්වර්ණපාලියේ, මිහිරාව ආවා, ආදී වශයෙන් ඔහොම සින්දු කිහිපයක් හදාගත්තා. මට මගේ අප්පච්චි සින්දු ලියලා දුන්නා. සනුක, චින්තක ජයකොඩි වගේ අය මට ඒවාට සංගීතය නිර්මාණය කරලා දුන්නා. මම ඒවා ගායනා කළා. ඒවා ප්‍රසිද්ධ වුණාට පස්සේ ගොඩක් අය ඒවාට ආදරය කළා. ඒ හින්දා මට කොන්සර්ට්වලට පවා ආරාධනා ලැබුණා. මම හිතන්නේ ඒකත් අර රංගනය වගේම ටික ටික පුහුණුවෙමින් යන තවත් විෂයක්. ඉතිං මම ඒකටත් හරි ආදරෙයි, කැමැතියි.

පසුගිය කාලයේ වැඩිපුර කොන්සර්ට් තිබුණා නෙමෙයි. ඇත්තටම මගේ බිරිඳයි, බබයි ඔස්ට්‍රේලියාවේ ඉන්න හින්ද ඒ පැත්තට කොන්සර්ට් එකක් ආවොත් මම ටක්ගාලා භාරගන්නවා.

ඒගොල්ලන්ව හම්බවෙලත් එන්න පුළුවන් නිසා. කොහොමත් රට රටවල කොන්සර්ට්වලට සහභාගි වුණා. නමුත් ඔස්ට්‍රේලියා ගමන වැඩිපුර ජනප්‍රිය වුණේ. මම එහේ ගිහිල්ලා මගේ පවුලේ අයත් එක්ක සමාජ මාධ්‍යයට පින්තූරයක් දෙකක් දැම්මහම ඒවා ඇසුරෙන් බොහෝ කල් මුහුණුපොතේ ඉන්න අය ලියන්න ගන්නවා.

අලුත් ගීතයක් එහෙම කරන්න අදහසක් නැතිද?

ඇත්තටම එහෙම සූදානමක් තිබෙනවා. කලාධාරා කිහිපයකට කැමැති වුණාහම කීයක් කරන්න උත්සාහ කළත් කාලය සීමිතයිනේ. මේ කාලයේ මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් තිරගත වෙනවා. එතකොට ඒ චිත්‍රපට දෙකත් එක්ක තවත් වගකීම් රැසක් එකතු වෙනවානේ. කොන්සර්ට්වලට එහෙම සම්බන්ධ වුණාහම ගීතයක් හදන්න කාලයක් යොදාගන්න බැරිවයි ඉන්නේ. ඉදිරියේදී ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

එකගෙයි සොකරි කවද ද බලන්න හම්බවෙන්නේ?

මම ඒ ආරංචිය ඉතාම ළඟකදී ගේනවා. මේ දවස්වල ඒ චිත්‍රපටය තිරගත කරන්න වඩාත්ම සුදුසු කාලය මොකක්ද කියන කාරණාව කල්පනා කරමින් ඉන්නේ. ඊළඟ අවුරුද්දේ මුල වෙනකොට සොකරි බලන්න ලෑස්ති වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

සිහින සමීකරණ රූගත කිරීමේදී මුහුණ දුන් අභියෝග මොනවාද?

අභියෝග තිබුණා මට මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි කසුනිට බයිසිකල් පදින්න පුළුවන්කමක් නොතිබීම. ඉතිං මේ චිත්‍රපටය වෙනුවෙන්ම තමයි ඇය බයිසිකල් පදින්න පුරුදු වුණේ. එයා බයිසිකලේ පදිනකොට මම පුදුමාකාර බයකින් තමයි රෙඩි වෙලා ගියේ. එකපාරක් වැටුණත් එක්ක. ඒවා ඉතිං හරි සොඳුරු අත්දැකීම් විදිහට තමයි මතක. වැලිකන්ද වගේ දුෂ්කර පළාතක තමයි රූගත කිරීම් සිදුකළේ. නමුත් ඒ මුහුණ දුන් කිසිම අභියෝගයක්, අභියෝග විදිහට නෙමෙයි මතක, සොඳුරු අත්දැකීම් විදිහට තමයි මතක.

තව චිත්‍රපට කීයක් විතර තියෙනවා ද තිරගත වෙන්න?

මේ දිනවල සිංහබාහු, සිහින සමීකරණ කියන චිත්‍රපට දෙක තිරගත වෙනවා. මෙතැනින් එහාට දුස්රා, බොම්බයි මොටයි, එකගෙයි සොකරි වගේ චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.

දිනේෂ් විතාන

Latest News

More like this

සිංහබාහු හොර කොපිය ලක්ෂ දහයක් බලලා.. සෝමේ අයියට හොඳටම මළ පනී

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහබාහු සිනමාපටය සිනමා...

Mandara Film Media Premiere

Photo Courtesy of Indika Mallawarachchi
error: Content is protected !!