මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා එවැනි බෝතල් හමුවුවහොත් පානය නොකරන්නැයි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.
ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ පිරිසට හමුවූ බෝතලයේ දියර වර්ගය තවත් යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසකට ද ලබා දී ඇති බව පවසනවා.
නමුත් එම ධීවරයින් පිරිස එය පානය කළ බවක් වාර්තා වී නැති බව ද ඔහු සඳහන් කළා.
එහි මත්පැන් වෙනුවට වෙනත් කිසියම් රසායන වර්ගයක් ඇති බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
තංගල්ල ධීවර වරායෙන් පසුගිය 4 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩෙවෝන් 5 නැමති බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් ගොඩබිම සිට මුහුදු සැතපුම් 300 ක් පමණ දුරින් එම පිරිස ධීවර කටයුතු සිදු කරමින් සිටින අතර මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් හමු වී තිබෙනවා.
මුහුදේ පාවී ආ ලීටර් පහක පමණ බෝතලයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කිරීමෙන් අනතුරුව ඔවුන් දරුණු ලෙස රෝගාතුර වී ඇති අතර එක් අයෙකු වෙනත් යාත්‍රාවකට රේඩියෝ පණිවිඩයක් ලබා දෙමින් ඒ බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අසල තිබු යාත්‍රාවක් ඒ දෙසට යොමු කරනු ලැබූ අතර එහි සිටි ධීවරයින් එයට ගොඩ වී බලන විටත් එම යාත්‍රාවේ ස්කිපර්වරයා මියගොස් සිටි බවයි ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.
අනෙකුත් අය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඔවුන් විසින් ගොඩ බිම පවතින පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.
මේ අතර මෙම ධීවරයින් පිරිසගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව හැකි ඉක්මණින් ධීවරයින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් කොළඹ කතරගම මාර්ගය තංගල්ල පල්ලිකුඩා ප්‍රදේශයෙන් සම්පූර්ණ අවහිර කර විරෝධතාවක නිරත වුණා.