LPL ඇරඹුණා.. මුල්ම මැච් එක අද රෑ 7.30 ට

පස්වන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අද (01 වැනිදා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.15ට ඇරඹීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවර සංඛේතාත්මකව අරඹන අතර එම අවස්ථාවට මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ සන්නාම තානාපති වශයෙන් කටයුතු කරන හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක්ද සහභාගී වෙයි.

තරගාවලියේ පළමු තරගය හිටපු ශූරයින් වන මහනුවර කණ්ඩායමත්, අනුශූරයින් වන දඹුල්ල කණ්ඩායමත් අතර අද පස්වරු 7.30ට ඇරැඹෙන අතර මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේදී පළමු වරට සෑම ඉනිමකම 16 සහ 17 යන පන්දුවාර දෙක තුළදී එක්දින ජාත්‍යන්තර තරගයක දෙවන පවර්ප්ලේ අවස්ථාවේදී මෙන් පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණක් 4 සීමාව ආසන්නයේ රඳවාලීම විශේෂත්වයක්.

මෙම පන්දුවාර දෙක ‘පවර් බ්ලාස්ට්’ යනුවෙන් නම් කර තිබෙන අතර මෙමගින් ප්‍රේක්ෂකයන්ට ආස්වාදයක් ලබාදීම සහ කණ්ඩායම්වල උපක්‍රමශීලීත්වය වැඩි වනු ඇති බවට තරගාවලි සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.

අද තරගය සමගින් තවත් තරග 5ක් අනිද්දා (3 වැනිදා) දක්වා පල්ලේකැලේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව පළමු වරට ලංකා ප්‍රිමියර් ලීගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ජූලි 6, 7, 9 සහ 10 යන සිව් දිනයන්හීදී දිනකට තරග 2 බැගින් දඹුල්ලේදී තරගාවලියේ තරග 8ක් පැවැත්වෙන අතර මූලික වටයේ අවසන් තරග 6 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූලි 13, 14, 15 සහ 16 යන සිව් දිනයන්හීදී පැවැත්වෙනු ඇති.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජූලි 18 සහ 20 දෙදිනත් අවසන් මහා තරගය ජූලි මස 21වන දිනත් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Latest News

More like this

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...

‘කෝලි’ දෙයියන්ගේ දෙපා නමස්කාර කර දවසක් හිරේට ගිය පකීරා

රිතුපාන්රෝ පකීරා (Rituparno Pakhira) යනු පසුගිය සෙනසුරාදා ඉන්දීය ප්‍රිමියලීග්...
error: Content is protected !!