“අපට විතරක් නොවෙයි, රනිල්ටත් විශ්වාසය තිබෙනවා මාලිමාව දිනනවා කියලා. රනිල්ට මේ ජනාධිපතිවරණය පහසුවෙන් දිනන්න හැකි නම්, ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රම සොයන්නේ නැතැයි” ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වන් සිල්වා මහතා පුනරුදයට රටම එකට ජාතික ජන බලවේගයේ කලුතර මහ රැළියේ දී ප්‍රකාශ කළා.
ඔවුන් ජනාධිපතිවරණයෙන් පලායාමට උත්සහ කිරීම තුළ තහවුරු වී ඇත්තේ මාළිමාවේ ජයග්‍රහණයත් බවත් එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නැයි ඔහු මෙහිදී පැවසුවා.
ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර සිටියා.
“මේ වන විට ජනාධිපති සටන පටන්ගෙනයි තිබෙන්නේ. එක පැත්තකින් සජිත් පේමදාස මහත්තයා කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන පාසලකට බස් එකක් හෝ පන්ති කාමරයක් ලබාදී ළමයි එකතු කරගෙන, ‘මිත්‍රවරුනි’ කියලා දේශපාලන කතා පවත්වනවා. ෆොන්සේකා මහත්තයා එයාට වැටෙන්න කඳ හරහා ගහපු නිසා මේ දවස්වල කතා අඩුකරලා තිබෙන්නේ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය යොදවලා දිස්ත්‍රික් සංවර්ධන සභා කමිටු කැඳවමින් තව පැත්තකින් අල්ලස් දීලා මන්ත්‍රීවරු ගන්න ක්‍රියාකරමින් ජනතාවට බඩු සහ ඉඩම් ඔප්පු බෙදමින් යනවා.
රනිල් වික්‍රමසිංහ ජනතාවට හැමදාමත් අනාගතය ගැන කියමින් ඉන්නවා. ඔහු අනාගතය වෙනුවෙන් හැමදාමත් කියූ කිසිම දෙයක් ඉටුවී නැහැ. මීට කලකට පෙර අපේ රටේ තරුණ තරුණියන්ට රත්තරං බ්රේස්ලට් පැළඳිය හැකි තත්වයක් ඇති කරන බව කීවා. නමුත් අන්තිමටම ගෙදර අම්මලාගේ සහෝදර සහොදියන්ගේ රත්තරං බඩු ටික බැංකුවලට සින්න වෙලා ගියා. ඊට පස්සේ කිව්වා රට පුරා වයිෆයි කලාප ඇති කරනවා කියලා. අන්තිමට සිදුවී තිබෙන්නේ රුපියල් 100/- ඬේටා කාඞ් එකක් දාගන්න බැරි වීමයි.
2020වන විට ලංකා ණය බරින් නිදහස් කරන බව කලින් කීවා. තව අවුරුදු හතරකින් ණය ගෙවන්න පටන් ගන්න බව දැන් කියනවා. ඉස්සර ගුවන් විදුලියේ ගීතයෙන් ගීතය කියලා වැඩ සටහනක් තිබුණා වගේ රනිල් වික්‍රමසිංහ දැන් කියන්නේ බොරුවෙන් බොරුව. එක බොරුවක් කියලා ඒක අමතක වෙද්දී තව බොරුවක් කියනවා මුල් බොරුව ජනතාවට අමතක කරනවා. බොරුවෙන්මයි යන්නේ. ඔවුන් යමක් කරයි කියලා විශ්වාස කළ කාලයේ ජනතාව ඒ බොරු පිළිගත්තා. අපේ රටේ ජනතාව එවැනි බොරුවලින් රැවටිය නොහැකි බව දැන් ඔප්පුකර තිබෙනවා. බොරු කරපු, බොරු කියපු සියලු දෙනාම තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම පරාජය කරන්න ජනතාව දැන් සූදානම්.”