තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන අතර වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා යළිත් වරක් අවධාරණය කර තිබෙනවා.
ඔහු මේ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම යටතේ අද (4) සිට ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ නව මුහුණුවර පිළිබඳව පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එදා තුවක්කුව හරි දේට පාවිච්චි කරන්නයි පැවසූ විට බොහෝ දෙනා තමා විවේචනය කළ බවයි.
නමුත් රටේ දූ දරුවන් සහ පවුල් මත්ද්‍රව්‍ය අර්බුදයෙන් බේරා ගැනීම සඳහා එකම අරමුණකින් ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කරනවා.
තමා ඇමතිකමේ සිටින තුරු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පසුගිය දෙසැම්බර් මාසයේ යුක්තිය මෙහෙයුම් ආරම්භ කළේ තමාගේ ආරක්ෂාව ගැනවත් නොසිතා බව අමාත්‍යවරයා පවසනවා.
විදේශ රටවල සැඟවී සිට මෙරට සංවිධාත්මක අපරාධ මෙහෙය වූ පාතාලයන් පස්දෙනකු මේ වන විට මෙරටට රැගෙන ඇති බවත් ඉතිරි පාතාලයන්ද මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.