විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දියානු කණ්ඩායම අද (04) නව දිල්ලිය වෙත ළඟා වුණා.
ඔවුන් වෙනුවෙන් විශාල උපහාර උළෙලක් මුම්බායි හි සංවිධානය කර තිබූ අතර ක්‍රීඩකයින් විවෘත බස් රථ පෙළපාලියකින් නාරිමන් පොයින්ට් සිට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණය දක්වා රැගෙන ඒමට සැලසුම් කර තිබුණා.
ඉන්දියන් ක්‍රීඩකයින් වෙත සිය සුබ පැතුම් එක් කිරීම සඳහා දහස් ගණනක් මුම්බායි හි මැරීන් ඩ්‍රයිව් වෙත පැමිණ සිටි අතර, සවස්වන විට වන්කඩේ ක්‍රීඩාංගනය ධාරිතාව ද ඉක්මවා ගොස් එකම එක හිස් ගොඩක් බවට පත් වෙද්දී ක්‍රීඩාංගනයේ දොරටු වසා දැමීමට සංවිධායකයින්ට සිදු වුණා.
විවෘත රථ පෙළපාලිය පැවැත්වුණු කිලෝමීටර් තුනක් දිග සුප්‍රසිද්ධ මැරීන් ඩ්‍රයිව් මාර්ගය අතුරු සිදුරු නොමැතිව පිරී යාම නිසා ක්‍රීඩකයින් ගමන් ගත් රථ පෙළ වන්කඩේ වෙත පැමිණීමට විශාල කාලයක් ගත වී තිබෙනවා.
ප්‍රේක්ෂකයින් තදවැසි අධික සෙනඟ නොතකා මඟ දෙපස ක්‍රීඩකයන් වෙත සුබ පැතීමට එක් වී සිටි ආකාරය දැක ගත හැකි වුණා.
බෙරිල් සුළි කුණාටුව හේතුවන් ඉන්දීය කණ්ඩායම බාබඩෝස් නුවර දින තුනක් සිර වී සිටි අතර නායක රෝහිත් ෂර්මා ඇතුළු කණ්ඩායම නවදිල්ලි නුවරට රැගෙන ආවේ Air Indian Champions 24 World Cup (AIC24WC) නමින් නම් කරන ලද විශේෂ ගුවන් යානයකිනි.
බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දීය සංචිතයේ පිටත්ව යාම ප්‍රමාද වීමත් සමඟ ඉන්දීය සංචිතය, සහායක කාර්ය මණ්ඩලය, ක්‍රීඩකයින්ගේ පවුල්, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් සහ සංචාරක මාධ්‍ය කණ්ඩායම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ ගුවන් යානයක් සංවිධානය කර තිබුණා.
නව දිල්ලිය වෙත ළඟා වීමෙන් අනතුරුව ඔවුන් පෙරවරු 11ට අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ නිවසේ දී හමුව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඔහු සමඟ උදෑසන ආහාරය ගැනීමෙන් පසු කණ්ඩායම දිල්ලි සිට ගුවනින් මුම්බායි වෙත පැමිණියා.