දෙමළ අපි ජීවිත මිලියන ගණනක් දැන් පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවතැන් වෙලා.. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගිය උමා කුමරන් හඬ අවදි කරයි

ශ්‍රී ලාංකික තරුණියක් වන උමා කුමරන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික දෙමළ ජාතික කාන්තාව බවට පත් වී සිටියි.

ඒ මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 19,145ක් ලබා ගැනීමත් සමඟයි.

ඇය ජයග්‍රාහී කම්කරු පක්ෂය නියෝජනය කරමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන් මහ ඇය මැතිවරණයට ඉදිරිපත් වුණා.

ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් කඩ නොකරන බව උමා කුමරන් සඳහන් කර තිබෙනවා.

“මම ඉපදුනේ නැඟෙනහිර ලන්ඩනයේ. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමෙන් පලා ගොස් මගේ දෙමව්පියන් එක්සත් රාජධානියට පැමිණියේ 80 දශකයේ දී යි. මම මේරි ක්වීන් හි ඉගෙනුම ලැබුවා. ස්ට්‍රැට්ෆර්ඩ් සහ බෝ ප්‍රදේශයේ ජීවත් වූණා. ප්‍රාදේශීය පාසලක අධ්‍යාපනය ලබමින් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වීම දක්වා මම ගිය ගමන සහ ඉතිහාසය ගැන සිතීම පවා ඇදහිය නොහැකි යි.

මගේ ශ්‍රමයේ වටිනාකම් මගේ පවුල සහ මගේ දෙමාපියන් හරහා මගේ රුධිරයේ ගැඹුරට දිව යන්නක්. මගේ සීයා යාපනයේ මුල්ම වෘත්තීය සමිති නායකයෙක්. සනීපාරක්ෂක සේවකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලා වෘත්තීය සමිති පිකට් පෙළක් ඉදිරිපිටට එක්වීම නිසා ඔහුව තාවකාලිකව නිවසින් නෙරපා දැමූ බව මම දන්නවා. සාමාන්‍යයෙන් මගේ සීයා කළ දේ එකල යාපනයේ දෙමළ පවුල් වල අය කළ දෙයක් නෙමෙයි. ඒත් මගේ සීයා ඒ දේ කළා. මගේ සීයාගේ තාත්තා කෝපයට පත් වූ බව මගේ සීයා මට කියා තිබුණා. මගේ පවුලේ අය රාජ්‍ය සේවයේ නිරතව සිටි අය. ඒ නිසා හැමදාමත් රාජ්‍ය සේවය පිළිබඳ හැඟීමක් මගේ පවුල තුළ තිබුණා.

මගේ පවුලේ අය දැන් ලන්ඩනයේ, එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ විසිරී සිටිනවා.

මම අපේ ඉතිහාසයේ නිෂ්පාදනයක්. මම ඉපදුනේ මගේ දෙමව්පියෝ 80 දශකයේ දී ලංකාවේ තත්වය නිසා ලංකාවෙන්පලා ගියා. ඒ අය ලන්ඩන් ඇවිත් දැන් පැමිණ වසර 40කට අධික කාලයක් ගතවෙලා. ඒ අය තම ජීවිතය සොයා දුවමින්, සැඟවෙමින්, ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් ජීවත්ව සිටියාදැයි නොදැන, මරණය සහ විනාශය දැකීම පිළිබඳ මට කියූ කතා මා සමඟ සදහටම පවතීවී.

යුද්ධය මගේ දෙමාපියන්ගේ ජීවිතවල ගමන් මග වෙනස් කළා. දෙමළ අපි ජීවිත මිලියන ගණනක් දැන් පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවතැන් වූ ජනතාවක්. මේ මොහොතේ මට එය වඩාත් තියුණු ලෙස දැනෙනවා.

මගේ අම්මා මේ මාසේ මුලදී නැති වුණා. මට ඇයගේ අවමංගල්‍ය කටයුතු සඳහා නියමිත වේලාවට ඕස්ට්‍රේලියාවට යාමට නොහැකි වූණා. නමුත් ඇය මා ගැන ඉතා ආඩම්බර වූ බව මම දන්නවා.

අපට මෙතරම් කාලයක් අහිමි වූ යුක්තිය දෙමළ ජනයාට ලබා ගැනීමට මම සෑම මට්ටමකින්ම උත්සහ කරනවා. යුක්තිය ඉල්ලා සිටීමට කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මා සමඟ සිටින බව මම දන්නවා’ යි උමා කුමරන් මන්ත්‍රීවරිය පවසනවා.

මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට දෙමළ ජාතිකයන් 8 දෙනෙක් තරග කළ අතර මන්ත්‍රීවරියක් ලෙස තේරී පත් වුණේ උමා කුමරන් පමණයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රථම දෙමළ මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වූ උමා කුමරන් මන්ත්‍රීවරිය වෙත තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ද සිය සුබ පැතුම් එක්කර තිබුණා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!