සිය සැමියාගේ වයෝවෘද්ධ මව තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර අමානුෂික ලෙස ඝාතනය කළ ලේලියක ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක උපක්‍රමශීලී මෙහෙයුමකින් පසු ඊයේ (07දා) අලුයම 3.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැන්දණිය ඝාතනය කිරීමෙන් පසු පොලිසියේ අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට ඇය උත්සහ කර තිබුණේ තම බාල වයස්කාර දරු දෙදෙනා ද ප්‍රාණ ඇපයට ගනිමින්.
ගම්පොළ උලපනේ, උලපනේ වත්ත පදිංචි 78 හැවිරිදි එස්. ජෝති නමැති පස් දරු මව සිය ලේලිය අතින් මෙසේ ඝාතනයට ලක්ව තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවට හිමි නිවසේ තිස්දෙහැවිරිදි සැකකාර ලේලිය හා ඇගේ 7 හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දොළහට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
යාපනයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය විවාහයෙන් පසු උලපනේ වත්තට පදිංචියට පැමිණ ඇති අතර ඇගේ සැමියා වන මණිවේල් ජෝශප් නමැත්තා රැකියාව සඳහා යාපනයට ගොස් සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිදු කර තිබෙනවා.
ඝාතනය වූ මව මාසයක පමණ කාලයක් අසනීපව එක්තැන්ව සිට ඇති බැවින් ඇයගෙන් නිතරම තමාට කරදර බව පවසමින් මෙම ලේලිය නැන්දනියට තර්ජනය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා.
මෙම නිවසට යාබදව මියගිය කාන්තාවගේ එක් පුත්‍රයකුද පදිංචිව සිටින අතර රාත්‍රියේ ඇසුණ ශබ්දයකට ඔවුන් එම නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු මන්නයකින් තම මව කපා කොටා තිබෙන අයුරු දුටු ඇයගේ පුත්‍රයා ඇතුළු අසල්වැසියන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇය රෝහල්ගත කර තිබෙනවා.
උලපනේ වත්ත කන්දක් උඩ පිහිටි මෙම නිවසට අලුයම එකට පමණ පොලිසිය ළඟා වී ඇති අතර ඒ වන විට සැකකාර කාන්තාව දොර ජනෙල් වසා නැන්දනිය කැපු කැත්ත දරු දෙදෙනාට එල්ල කොට කිසිවකුත් ළඟට නොඑන ලෙස තර්ජනය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
දරු දෙදෙනාද කපා කොටා ඝාතනය කරන බව ඇය පැවසීම නිසා ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් කැකුලන්දර මහතා යාපනයේ සිටින ඇගේ සැමියාට දුරකථන ඇමතුමක් දී සිදුවීම විස්තර කර බිරිඳට කතා කොට ඇය සන්සුන් කරන ලෙස පවසා තිබෙනවා.
මේ ආකාරයට පැය දෙකහමාරක් පමණ දැඩි උත්සාහයක් ගෙන සැකකාරිය මෙල්ල කර දරු දෙදෙනා බේරාගෙන ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
ඝාතනයට ලක්ව ඇති කාන්තාවට මෙම සැකකාරිය දරුණු අන්දමින් වධ දී තිබෙන අතර ඇගේ ශරීරය පුරා කැපුම් තුවාල දක්නට ලැබුණා. ඇගේ කෙස් වැටියද කපා දමා තිබියදී පොලිසියට හමු වී ඇති බව සඳහන් වෙනවා.
ගම්පොළ වැඩ බලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය මහ රෝහල වෙත රැගෙන යන ලෙස දැනුම් දී තිබුණා.
මරණ පරීක්ෂණය අද (08දා) සිදු කිරීමට නියමිතයි.