අතුරුගිරියේදී වෙඩි වරුසාවකට බිලිවූ කවුද මේ ක්ලබ් වසන්ත?

අතුරුගිරියේදී වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි වරුසාවක් ව්‍යාපාරිකයකුට එල්ල වූ බවට ඊයේ (08දා) සඳුදා උදෑසන පුවතක් ලැබිණි. ඒ ව්‍යාපාරිකයා කවුදැයි යන්න තොරතුරු ආවේ ඊට මොහොතකට පසුවය.

“වෙඩි වැදිල තියෙන්නේ ක්ලබ් වසන්තටයි, කේ. සුජීවටයි.” මේ ආරංචිය කොළඹ විදුලි වේගයෙන් පැතිර ගියේය. ක්ලබ් වසන්ත නැතිනම් කැරොකේ වසන්ත ලෙසින් හඳුන්වන ඔහු කොළඹ ව්‍යාපාරික ලෝකය මෙන්ම කොළඹ ජනතාවද හඳුනන නමකි.

ඇතැමකු ඔහුට කියන්නේ වසන්ත අයියා ලෙසිනි. ඔහුගේ වසන්ත නමට මුලින් කැරොකේ, ක්ලබ් නිපාත යෙදෙන්නට හේතුව ඔහුට කැරොකේ සහ රාත්‍රි සමාජ ශාලා කිහිපයක්ම හිමිව තිබීමය. ඔහුට පවතින විධිමත් ව්‍යාපාරයේ නම සන්හිල් ව්‍යාපාර සමූහයයි.

වරක් ඔහු මාධ්‍ය සමඟ කීවේ සිය ව්‍යාපාරය පටන් ගත්තේ පාසල් වියේදීම බවයි. එනම් අවුරුදු 17දී ඔහු සිය ව්‍යාපාර ජීවිතයේ මුල් අකුර කියවූ බව මතක් කළේ මීට වසර හතකට පමණ පෙර පැවැති ඔහුගේ සන්හිල් ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරයේදීය.

ඔහුගේ ව්‍යාපාර ජීවිතයේ පළමු මංසලකුණ තබන්නේ සීතල නුවරඑළියෙනි. අදටද නුවරඑළියේ ප්‍රමුඛ හෝටලයක් වන සන්හිල් හෝටලය ඔහුගේ ව්‍යාපාරයකි.

“මම නුවරඑළියේ සන්හිල් හෝටලේ කාමර විස්සකින් පටන් ගන්නේ වයස අවුරුදු විස්සෙදී. අවුරුදු 17දී මට ජපන් භාෂාව සහ හෝටල් කළමනාකරණය ගැන ඉගෙන ගන්න හම්බවුණු ශිෂ්‍යත්වයකින් ජපානයට ගිහින් ඉගෙන ගන්න අතරේ මහන්සි වෙලා විවිධ රස්සා කළා. ඒකෙන් හොයා ගෙන ආපු සල්ලි ටික දාල තමයි අවුරුදු විස්සෙදී ඒ වගේ ලොකු වැඩක් කළේ. අද මට කටුනායක,මීගමුව, කොල්ලුපිටිය, බොල්ගොඩ, ගල්කිස්ස සහ පාසිකුඩා ප්‍රදේශවල හෝටල් කිහිපයක් තිබෙනවා.

මීට අමතරව වාහන, දේපළ වෙළෙඳාම් ඇතුළු ව්‍යාපාර ගණනාවකට මගේ ව්‍යාපාර විහිදුවා තිබෙනවා.” ඒ වසන්ත එදා පැවැසූ අයුරුය.

වසන්ත පෙරේරා සිය සන්හිල් ඩුබායි රාජ්‍යයේද ස්ථාපනය කර ඇත. මීට වසර හතකට පමණ පෙර ඔහු කීවේ අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කරන්නටද ඔහු සැලසුම් කර ඇති බවය.

1992, අවුරුදු 20දී කාමර විස්සක සුඛෝපභෝගී හෝටලයක් පටන් ගත් ඔහු ඊට අවුරුදු 10ක් ගත වනවිට එනම් 2012 වනවිට කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් විය. ඒ වනවිට ඔහුට කොළඹ නගරයේ තිබූ කැරොකේ රාත්‍රි සමාජ ශාලා ආධිපත්‍ය නිසා ඔහුට කැරොකේ වසන්ත නමද පටබැඳී තිබිණි. ඔහුට එල්ල වූ එක් චෝදනාවක් නිසා එවකට රටේ ප්‍රබලම තැන්වල පවා අවධානය ඔහු වෙතට යොමු විණි. සුඛෝපභෝගී ජීප් රථයක් සහ පරිවාර ලෑන්ඩ් රෝවරයකින් ගමන් කරමින් සිටි ඔහු පොලිස් රථ වාහන අංශයට කළ බාධා කිරීමක් නිසා ඔහු 2013දී අත්අඩංගුවට පත්විණි.

ඒ වෙලාවේ චෝදනා නැඟ තිබුණේ රටේ ඉහළම තැනක සහෝදරයකු බව සහ රටේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු යැයි පවසමින් ඔහු පොලිසියේ රාජකාරිවලට බාධා කළ බවය. කෙසේ වුවද මේ පිළිබඳව ඉහළ තැන්වලටද දැන ගන්නට ලැබුණු අතර ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්වූයේ ඔහුගේ සගයන් කිහිප දෙනකුද සමඟය. කෙසේ වුවද එයින් ඇප ලබා පැමිණි ඔහුට නඩුවක්ද පැටලිණි.

ඊට පසුව වසන්ත වඩාත් අවධානයට ලක් වන්නේ මාකඳුරේ මධුෂ් නමැති මත් ජාවාරම්කරුවාගේ ඩුබායි නිවසේ සාදයකට සහභාගිව සිටින දර්ශන සහිත වීඩියෝවක් සමාජගත වීම නිසාය. එහිදී ඔහු පවසා තිබුණේ මධුෂ් ඔහුගේ මිතුරකු බවය.

වසර 25ක් තිස්සේ ව්‍යාපාර ජාලයක් ගොඩනැඟුවද ඔහු කොළඹ ව්‍යාපාර ප්‍රභූ පන්තියට වඩා ඇසුරු කළේ එක්තරා මිත්‍ර කොට්ඨාසයක් බව ඔහුගේ මිතුරෝ පවසති. සෙල්ලක්කාර විනෝදකාමී ජීවිතයකට බරව සැහැල්ලු දිවියක් ගත කළ වසන්ත සමාජ ජාලා ක්‍රියාකාරීන් සහ ඇතැම් මාධ්‍යකරුවන් සමඟද හොඳ හිතක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ලෙස සැලකෙයි.

ප්‍රවීණ රූපවාහිනි නිවේදකයකු වන චමුදිත සමරවික්‍රම අප සමඟ කීවේ ඊයේ ඔහු මිය යන්නට විනාඩි කිහිපයකට පෙර ඔහු විසින් යූ-ටියුබ් නාළිකාවේ ප්‍රචාරය කළ එක් වීඩියෝවක් අගයා වාචික පණිවුඩයක් සිය වට්ස්ඇප් අංකයට එවා තිබූ බවයි. ඊට විනාඩි කිහිපයකට පසු ඔහු ඝාතනය කළ පුවත ඇසූ බව චමුදිත පවසයි.

පසුගිය කාලයේ කරන කියන සහ යන ගමන් හැමදේම වීඩියෝ හරහා සමාජ ජාලවලට එක්කිරීම විනෝදාංශයක් කරගෙන සිටි බව වසන්තගේ සමාජ ජාල පරිශීලනයේදී පෙනී යයි.

මීට අමතරව කලා ලෝකයේ බොහෝ දෙනකුද ඔහු හොඳින් හඳුනයි. එයට හේතුව බොහෝ කලා කටයුතුවලට ඔහුගේ අනුග්‍රහය ලැබීමය. ආර්ථික අපහසුතා ඇති අයටද උපකාර කිරීමට තම ධනය වැය කරන බව ඔහු සිය සමාජ මාධ්‍යවල නිතර පළ කරන්නෙකි.

ඊයේ උදේ ඔහු සිය බිරිය චන්දිමා සහ ගායන ශිල්පිනි කේ. සුජීවා සමඟ ගොස් ඇත්තේ කඩුවෙල, අතුරුගිරිය පාරේ, අංක 126 දරන තැන පිහිටි යුනික් ටැටූ සහ පියර්සිං ස්ටූඩියෝ නම් ටැටූ කලාගාරය විවෘත කිරීමටය.

එය දුලාන් සංජුල නමැති ශිල්පියකුගේය. වසන්ත සහ සිය බිරිය චන්දිමා එහි ප්‍රධාන අමුත්තන්ය. ආරාධිත අමුත්තියක ලෙස කේ. සුජීවාද පැමිණ සිටියාය. මෙම ස්ථානය විවෘත කිරීමට නියමිතව තිබුණේ ඊයේ (08දා) පෙරවරු 9.48ටය.

මෙම ටැටූ ආයතනය එදින එම වේලාවට විවෘත කරන බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් ද කලින් ලබා දී තිබිණි.

ඒ මොහොතට සියල්ල පැමිණ සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනා එක සීරුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළහ. තුවාලකරුවන් කඩිනමින් රෝහලට ගෙන යන්නට කටයුතු කළද මේ දේහධාරී පුද්ගලයාගේ සිරුර පසාරු කරගෙන ගොස් තිබූ සියුම් වෙඩි උණ්ඩ කිහිපයක් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ කර තිබිණි.

ඔහුගේ බිරියද ගායිකා කේ.සුජීවාද මේ වනවිට පසුවන්නේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!