බැනර් එකක් නෑ.. සුදු කොඩියක් නෑ.. VIPයාලුවො නෑ.. එකට කාපු බීපු කවුරුත් නැතුව හුදෙකලාවේ ඉන්න ‘වසන්ත’

ක්ලබ් වසන්ත, කැරොකේ වසන්‍ත නමින් මෑතක දී මිනිසුන් අතර ඉතා ජනප්‍රිය වූ මිනිසා අවසන් ගමන් ගොස් ඇති අතර ඔහුගේ දේහය මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද තැන්පත් කර ඇත්‍තේ බොරැල්ලේ ප්‍රකට මල් ශාලාවකයි.

ඔහුගේ දේහය අසලට යාමට විශේෂ අවසරයක් අවශ්‍ය අතර ඔහුගේ දේහය රූගත කිරීමට අවසර ඇත්තේ ද විශේෂ අවසරයක් ඇතිව පමණි.

අප යූ ටියුබ් වීඩියෝවලින්, සමාජ මාධ්‍යවලින් හඳුනා ගත් ක්ලබ් වසන්‍ත නැතිනම් ‘වසන්ත අයියා’ ලෙස මිනිසුන් ආදරයෙන් ආමන්ත්‍රණය කළ පුද්ගලයා යනු මිනිසුන් පිරිවරාගෙන සිටි මිනිසෙකි.

මේ වන විට බොරැල්ලේ ජන මාධ්‍යවලින් පවා නම සඳහන් නොකරන මල් ශාලාවේ වටිනා පෙට්ටියක වැතිර සිටිනා මිනිසා අසළ ඔහු පිරවරාගෙන සිටි මිනිස් රොත්තෙන් හතරෙන් එකක්වත් නැත.

ඉකුත් 08 වෙනිදා දක්වා ජීවතුන් අතර සිටි මිය යාමට පෙර සුපිරි උපන්දින පාර්ටියක් හා දින කිහිපයකට පෙර සාජ්ජයක් ද දමා කා බී නටා අනිත් අයටත් වැටෙනකල් කන්න බොන්න දීපු මිනිසා අසල දැන් කිසිවකු නැත.

‘දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ’ කියමින් ඒ සාජ්ජවල දී බදා වැළඳගත් ප්‍රිය බිරිඳ ද ඔහු අසල නැත.

ඔහුගේම වීඩියෝවලින් අප දැක ඇති ඔහු ප්‍රාණ සරිව ආදරය කළ දරුවන් ද වෙනදා මෙන් ගැවසෙන්නට,තුරුළු වන්නට ඔහු අසල නැත.

ඔහු අවසාන කාලයේ ඔහුව ප්‍රමෝට් කිරීමට ඔහුගේ ලයිෆ් ස්ටයිල් එක රටට කීමට, ඔහුගේ දාන මාන පිංකම්වලට ප්‍රචාරය දීමට ළං කරගෙන සිට මාධ්‍යවේදීන් යූ ටියුබ් කරුවන් කුචීලා බුචීලා කවුරුත්ම ඔහු අසල නැත.

බැනර් එකක් සුදු කොඩියක් පේන තෙක් මානයකවත් නැත.

පාර්ලිමේන්තුවේ 60% ක් මගේ යාලුවෝ යයි ජීවතුන් අතර ඉද්දී උදම් ඇනූ VIP මිතුරන් කිසිවකු ඔහු අසල නැත.

ජීවතුන් අතර ඉද්දී ඔවුන්ගේ සුඛ විහරණය සඳහා බොහෝ දේ කළ බව කියන, රට රාජ්ජවලදී සැප ගැනීමට වසන්ත උදව් කළ බව කියන ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් එකෙකු හෝ නැත.

අවසන් කටයුතු හෙට (13) දිනයේ සිදු කරන බවට නිවේදනය කර තිබුණ ද අවම වශයෙන් අවසන් ගමන් යන්නේ කීයට ද කියා මේ වන විටත් ප්‍රකාශ කර නැත.

ඇත්තේ එකම එක භීතියක් පමණි. දේහය තැන්පත් කර ඇති මල් ශාලාවට පවා එතෙර පාතාලයෙන් තර්ජනාත්මක ඇමතුම් ලැබෙමින් පවතී.

දේහයට අවසන් ගෞරව පැමිණීමට එන අතළොස්ස ද එන වේගෙටත් වඩා වේගෙන් එතනින් පිටව යයි.

රට පාලනය වන්නේ මෙරට නීතියෙන් ද එතෙර සිට ක්‍රියාත්මක වන පාතාල නීතියෙන් ද යන සැකයක් මතුව තිබේ.

ක්ලබ් වසන්‍තගේ ඝාතනයේ නිමිත්ත බව කියන මාකඳුරේ මදූෂ්ගේ තාත්තා අවසන් ගමන් ගියේ රටේ ඉහළම පන්නයේ ප්‍රභූවරයෙක් ආකාරයටයි.

මධුෂ්ගේ පියාගේ අවසන් ගමන සිදු කෙරුණු සූරියවැව ප්‍රදේශයට පැය භාගයක් පුරා ගුවනින් මල් හෙළද්දී මෙරට නීතිය සිටියේ ඉණට අත් දෙක ගසාගෙන බව ද අපට මතකය.

රටේ ජනාධිපතිවරුන්ගේ සිට ඉහළම දේශපාලනඥයින් දක්වා ළඟින් ඇසුරු කළ බව කියන වසන්ත පෙරේරාගේ අවසන් ගමනට පාතාලය බාධා කරන බව පවසමින් අද පොලිසිය ඉන්නේ ඔලුවෙ අත් ගසාගෙනයි.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් ලෙස සැලකුණු එල්.ටී.ටී.ඊය උතුරෙන් පැක් කර දකුණට එවූ මෘතදේහවලට අවසන් ගෞරව දැක්වීමට ඇති අයිතියට බාධා කෙරුවේ නැත.

නමුත් පාතාල ත්‍රස්තවාදය ඊට හාත්පසින්ම වෙනස් බව ක්ලබ් වසන්තගේ මළගම පසක් කර දෙමින් තිබේ.

මෑතකදී බොකෝ හරාම් ලා මඟුල් ගෙදරකට ප්‍රහාරයක් එල්ල කළේය. ඉනික්බිති එම මඟුල් ගෙදර ප්‍රහාරයෙන් මිය ගිය අයගේ මළ ගෙදරට ද ප්‍රහාරයක් එල්ල කරන ලදී.

දැන් ලංකාවත් ඇත්තේ එල්.ටී.ටී.ඊයටත් අන්ත බොකො හරාම්ලා වැනි අවම සදාචාරයක්වත් නැති ත්‍රස්ත කල්ලියක් යටතේය. ඒ පාතාලය කොයි ලෝකේ සිට කාගේ උවමනාවට මෙහෙයවන්නක් දැයි දන්න කෙනෙකුත් නැත.

සිටියා නම් වසන්තගේ වෙඩික්කරුවන් මේ වන තුරුත් අසු නොවන්නට ද විදියක් නැත.

එවැනි වාතාවරණයක වසන්තගේ සල්ලිවලට කෑම බීමවලට අනෙකුත් සුර සැප විඳීමට පස්සෙන් වැටී හිටිය යහළුවෝ මළගෙදර රැයක් තනි රකින්න ඔහු අසල නොවීම පුදුම සහගතත් නැත.

Latest News

More like this

LTTE යට උදව් කරපු කැනඩා අමාත්‍ය ගැරී ආනන්ද සංගරී ලොකු අමාරුවක වැටිලා…

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇති බවට...

බිරින්දෑවරු හා දරුවන්ද ඇතුළුව හිටපු මන්ත්‍රීවරුන්ට කෝටි 218ක විශ්‍රාම වැටුප් ගෙවලා

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු...

උඩුකය නිරුවතින් ඇවිද්ද විදෙස් කාන්තාව පිරිමියෙක්

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින්...

ලංකාවේ තරුණයින්ට දරු සිහිනය අත් හරින්න වෙයි.. UNFPA වාර්තාව

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෑතකදී නිකුත් කරන...
error: Content is protected !!