කේ. සුජීවා වසන් කරපු නයන වාසුල කවුද? මිය යන විට ගිණුම්වල කෝටි අටක්.. පැවිදි දිවියේ දී එක් ධර්ම දේශනාවක් සඳහා විසි තිස් දහසක් අය කරලා

අතුරුගිරියේදී කැරොකෙ වසන්ත ඉලක්ක කරගෙන එල්ල වුණු වෙඩි ප්‍රහාරය හමුවේ මිය ගිය අනෙක් පුද්ගලයා නයන වාසුල විජේසූරියයි.

ඔහු ගැන රටම කතා කරන්න ගත්තේ මෙම ඝාතනය සමඟ ඔහු මීට පෙර ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි ප්‍රසිද්ධ ධර්ම දේශකයා බව හඳුනා ගැනීමත් සමඟයි. ඒ සමඟ ඔහු කේ සුජීවා ගේ වර්තමාන සැමියා බවට වාර්තා පළ වීමත් සමඟ ඔහු ගැන විවිධ වාර්තා පළ වීමට පටන් ගැනුණා.

ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ වාසුල විජේසූරිය ලෙස කේ. සුජීවා නමැති රටේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් සමඟ විවාහ වී සිටින බව රටම දැන ගන්නේ ද මෙම වෙඩි ප්‍රහාරයත් සමඟයි.

ඇගේ පෙර විවාහක සැමියා වූ ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ සමඟ පැවති දීගය හමාර වීමෙන් අනතුරුව බොහෝ අය සිතුවේ කේ. සුජීවා දැන් තනිකඩව ජීවත් වන බවකි.

ඇගේ සෙවණැල්ල මෙන් පස්සේ වැටී සිටින තරුණයකු සිටින බව කලා ක්ෂේත්‍රයේ උදවිය පවා දැන සිටියත් ඒ මුතුකුමාරණගෙන් පසු ඇගේ සැමියා බවට පත්වූ ගම්පහ මහානාම නැමති හිමිනම බව කිසිවකුත් දැන සිටියේ සියල්ලන්ට රහසක් වුණා.

කේ සුජීවා සහ ඔවුන්ගේ දියණියන් දිනපතා ඔවුන්ගේ ජීවිත වීඩියෝ ගතකර යූ ටියුබ් අවකාශයට මුදා හැරිය ද සුජීවාගේ සැමියා බව කියන මේ පුද්ගලයා එම එකදු වීඩියෝවකින් හෝ දැක ගන්න ලැබුණේ නැති වීම ද විශේෂත්වයකි.

එයින් පෙනී යන්නේ කේ සුජීවා ඇගේ මීට පෙර සබඳතාවලදී මෙන් සියල්ල ජනප්‍රිය නොකර මේ සම්බන්ධයෙන් යම් රහසිගතභාවයක් පවත්වා ගෙන ගිය බවයි. එය ඇගේ පෞද්ගලික කාරණාවකි.

උපතින්ම හින්දු භක්තික දමිළ කාන්තාවක් වූ කේ. සුජීවා මෑත කාලයේදී වැඩි හරියක් දකින්නට ලැබෙන්නේ බෞද්ධ පරිසරයක් තුළය. ඇය බණ දහමට නැඹුරු බවක් පෙනෙන්නට වූ අතර උපන්දිනය පවා සමරන්නට ගියේ විහාරස්ථානයකටයි. ඒ වෙනස ඇයට ඇතිවන්නේ ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේගේ ඇසුර හේතුවෙන් විය හැකිය.

ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේ ධර්මධර විනයධර හිමිනමකි. උන්වහන්සේ පැවදි ජීවිතය තුළ වැඩ සිටියේ රුවන්වැල්ල ගෝනගල්දෙණිය වහරක කිතුල්ගහකන්ද දම්සක් විහාරස්ථානයේය. උන්වහන්සේගේ දේශනාවන් රසවත්ය. ගැඹුරුය. කනට මිහිරිය. ඒ නිසාම උන්වහන්සේට දෙස් විදෙස් ශ්‍රාවකයන් විශාල පිරිසකි. උන්වහන්සේ ධර්ම දේශනා සඳහා ලෝකය වටේම සැරිසැරූවකි. වසර 18ක් තිස්සේ ජනතාවගේ ධර්ම පිපාසය සංසිදුවීමට කටයුතු කළ උන්වහන්සේ උපැවිදි වන්නේ 2021 වසරේදීය.

පැවිදි වීමත් ගිහියෙක් වීමත් ඕනෑම අයකුට එක හා සමානය. විනයගරුක ධර්මධර යැයි සමාජය හිස්මුදුනින් පිළිගන්නා ඇතැම් ධර්ම දේශකයාණන් වහන්සේලා ගැන කියැවෙන ඇතැම් කතාබස් ගැන විමසීමේදී ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේ කසාවතට මුවා වී වැරදි වැඩ නොකර ගෞරවනීය ලෙස සිවුරු හැර දමා ගිහියෙක් ලෙස උන්වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වීමට මුල පිරීම ශාසනයේ යහ පැවැත්ම වෙනුවෙන් සිදු කළා වූ ලොකුම සේවයකි.

කුමන හෝ හේතුවක් මත ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේ කේ. සුජීවා හා බැඳුණේය. එම බැඳීමේ මුල් අවස්ථාවේදීම උන්වහන්සේ ගිහි ජීවිතයට යන්නට තීරණය කර සිවුරු හැරපියා එයින් නික්ම යාමට ද කටයුතු කර තිබුණා.

ඒ ඇතැම් විට භික්ෂුවක් ලෙස ජීවත්වීමට වඩා ගිහි ජීවිතයේ සැප විඳීමට ඇතිවූ ආශාවක් නිසා වන්නට ද හැකිය. උන්වහන්සේ ගැන සටහනක් තබන සාගර සුමන හිමියන් පවසන්නේ ගම්පහ මහනාම හිමියන් බොහෝ අහිංසක චරිතයක් බවය. ජනප්‍රිය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූවත් උන්වහන්සේ අහංකාරකමක් නැති නිහතමානී ස්වාමීන් වහන්සේ නමක් බව උන්වහන්සේ සඳහන් කරති.

උන්වහන්සේට ගම්පහ මහනාම හිමියන් මුලින්ම මුණගැසී ඇත්තේ ඩුබායි හි පැවති පින්කමකට සහභාගි වී සිටියදීය. සාගර සුමන හිමියන්ට අනුව ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේගේ දේශනා ගාම්භීරය. එහෙත් උන්වහන්සේ කොතරම් ජනප්‍රිය චරිතයක් වූවත්, ගාම්භීර ලෙස ධර්මය දේශනා කළත් හිතන පතන ආකාරය පොඩි දරුවකුට වඩා අන්තය. උන්වහන්සේ බොළඳය. අහිංසක සිතක් ඇත්තෙකි.

ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ සිවුරු හැරපියා ගිහි ජීවිතයේ සැපත සොයා යන්නට ඇත්තේ එම බොළඳකම නිසා විය හැකිය. උන්වහන්සේට සමාජ අවබෝධය එතරම් නොවූ බැවින් සසර කෙටිකර ගන්නවා වෙනුවට ගිහි ජීවිතයේ කම්සැප සොයා සසර දිගුකර ගැනීමට ගියා විය හැකිය. ගම්පහ මිරිස්වත්ත නිසලවිල සදහම් විහාරස්ථානය කිට්ටුව පාතක පදිංචිකරුවෙක් වන වාසුල විජේසූරිය උපැවිදිවී කේ. සුජීවා සමඟ ගිහි ජීවිතය ගත කරන බව සමාජය හමුවේ රහසක්ව පැවතියත් භික්ෂු සමාජයේ උන්වහන්සේගේ සමීපතමයන් අතර නම් එය තිබී ඇත්තේ ප්‍රසිද්ධ රහසක් ලෙසිනි.

නිසලවිල සඳහම් විහාරස්ථානයේ විහාරාධිපති අඹන්පොල ඥානතුසිත හිමියෝ සඳහන් කරන්නේ ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේ ලෙස වාසුල විජේසූරිය සාසනයට ඇතුළු වන්නේත් උපසම්පදාව ලබන්නේත් තමන් සමඟ බවය. පැවිදි ජීවිතය උන්වහන්සේ ඉතා යහපත් ලෙස ගත කළ බව ද ඥානතුසිත හිමියෝ සඳහන් කරති. ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේ අමරපුර නිකායේ කල්‍යාණවංශ නිකායේ හිමිනමකි. රුවන්වැල්ලේ උන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානය ද එම නිකායට අයත් වූවකි. එම විහාරස්ථානයේ නායක හිමියන් ලෙස විහාරස්ථානය පවා සංවර්ධනය කර ඇති උන්වහන්සේ උපැවිදි දිවියට එළඹෙන විට එම විහාරස්ථානයේ සියලු වත්කම් පවා බාරදී ඇත්තේ වැදගත් ලෙසිනි.

එක් ධර්ම දේශනාවක් සඳහා උන්වහන්සේ අයකර ඇති මුදල රුපියල් විසි තිස් දහසකි. එම මුදල් උන්වහන්සේ රැස් කරගෙන තිබී ඇත්තේ සිය පුද්ගලික මුදලක් ලෙසිනි. උන්වහන්සේ වාසුල විජේසූරිය නමින් උපැවිදි වී සිවුරු හැරපියා යන්නේ වසර 18ක් තිස්සේ ධර්මදේශනා පවත්වමින් රැස් කරගත් රුපියල් කෝටි ගාණක මුදලක් ද සමඟ පරිහරණය කළ බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය ද රැගෙනය. ගිහි ජීවිතයට පිවිස කේ. සුජීවා සමඟ විවාහ දිවියට පත්වන උන්වහන්සේ සමාජය හමුවේ පෙනී සිටින්නේ ව්‍යාපාරිකයෙක් ලෙසිනි. උන්වහන්සේගේ ව්‍යාපාර කුමක්දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය නොවූවත් 2021 වසරේදී උන්වහන්සේ උපැවිදි වන විට කෝටි ගණනක තැන්පතු මුදල් මෙන්ම දේපොළවල ද හිමිකරුවෙක් බව උන්වහන්සේගේ සමීපතමයෝ සඳහන් කරති. මේ දෙදෙනා අතර සම්බන්ධය ගොඩනැඟී ඇතැයි පැවසෙන්නේ කොවිඩ් වසංගත සමයේදීය.

අඹන්පොල ඥානතුසිත හිමි සඳහන් කරන ආකාරයට අනුව කේ. සුජීවා හින්දි තනුවකට අනුව මෑතක නිර්මාණය කළා වූ ගීතයේ පද රචකයා වන්නේ ද ගම්පහ මහනාම බවය.

වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් ගම්පහ මහනාම ගැන තබා ඇති සටහනක දැක්වෙන්නේ 2021 දී ඔහු උපැවිදි වූදා සිට අතුරුගිරියේ දී අවසනාවන්ත සිදුවීම දක්වාම ගත වුණ කාලයේ ඔහු රහසින් සිටියේ හිතට එකඟව තමන් ගත් තීරණය ගැන තමන්ටම තිබුණු පසුතැවීමත් කරණ කොටගෙන විය හැකි බවය.

පැවිදි වීමට පෙර, පාසල් කාලයේ ගීත ගායනා තරඟවලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දිනාගත් ඒ දුර්ලභ මිහිරි හඬින් ප්‍රයෝජන ගෙන රහසේ නොසිට ගායකයෙක් විදිහට ඉදිරියට ආවා නම්, අද ඔහු ලංකාවම දන්න ගායකයෙක් බව ස්ථිරය යැයි ද වල්පොල ගෝතම හිමියෝ සඳහන් කරති. එවැනි හැකියාවක් තියාගෙනත් ගිහියකු ලෙස ප්‍රසිද්ධ වීමට වුවමනාවක් නැති වුණේ කවදා හෝ යළි පිරිසිදු පැවිදි දිවියකට නැවත එන්නට හිතක් තිබුණු නිසාදැයි තර්කයක් ද උන්වහන්සේ මතු කරති.

“දැන් අපි කවුරුත් හරියටම කියන්න දන්නේ නැති නිසාත්, කවදා හෝ ඔහු සොයා ගිය කාම ලෝකයෙන් මුදාගෙන යළිත් මහානාම වීමට ඉඩක් ලැබුණොත් කළ හැකි හැම උපකාරයක්ම කිරීමට මට වුවමනාවක් තිබුණු නිසාත් මහානාම, මහානාම විදිහටම රට දැනගන්නවාට කැමති වුණ මම මහානාම නයන ලෙසින් දැනුම්වත් වෙනවට ඔහුත් අකමැති නිසාත්, මරණය සැලවුණ විට අපි නිහඬව හිටියා.“ යැයි ද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ සඳහන් කරති.

ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේව අගය කළ යුතු වන්නේ හිතට එකඟව තීරණයකට එළඹ ගිහියකු ලෙස විනා වීවරය දරා විවාහකයකු ලෙස කටයුතු නොකිරීම ගැනය. ගිහියෙක් හැටියටත්, භික්ෂුවක් හැටියටත්, දේශකයන් වහන්සේ නමක් හැටියටත් ඔහු යහපත් පැවැත්මක් පිළිබිඹු කළ ද කර්මයේ විපාකයන්ගෙන් ගැලවෙන්නට ඉඩක් නොවීය.

ගම්පහ මහනාම ලෙස ගරු බුහුමන් ලබමින් සමාජයේ ඉහළින් වැජඹෙමින් සිටීමට ඕනෑ තරම් ඉඩප්‍රස්ථා තිබුණු ඔහුට අතුරුගිරියේ කඩකාමරයක් තුළදී අහක යන වෙඩිල්ලකට හසුවී වාසුල විජේසූරිය ලෙසින් මියැදෙන්නට සිදුවන්නේ ද කර්මය මිස වෙන කිසිවක් නිසා නොවන බව පැහැදිලිය.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!