ඉකුත් 2002 වර්ෂයේ ශ්රී ලංකා19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාත කේන්ද්‍ර කර ගෙන ක‍්‍රියාත්මක වන කොස්ගොඩ සුජීගේ සහ බලපිටිය දිල්ශාන්ගේ පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් පවතින ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි, කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය සමග සබඳතා පවත්වාගෙන ගොස් ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය පවසනවා.
ඔහු කලක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් එහි රැකියාවක් කරමින් සිට ඇත්තේ ද ජීවිත තර්ජන හේතුවෙන්.
මීට මාස දෙකකට පමණ උඩදී ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඩුබායි හි වීසා බලපත‍්‍රය දීර්ඝ කරගැනීම සඳහාය.
තවත් සතියකින් ඔහු ආපසු ඩුබායි රාජ්‍යය බලා යෑමට සූදානමින් සිට ඇති අතර, ඊට ප‍්‍රථම බලපිටියේ දිල්ශාන්ගේ පාතාල කල්ලිය විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.
41 හැවිරිදි ධම්මික නිරෝෂන් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සිටි අතිදක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි.
විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු පසුව 2002 වර්ෂයේ ශ්රී ලංකා 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වය දැරුවේය.දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ දක්‍ෂ පන්දු රැකීමේ ක‍්‍රීඩකයකු වූ ජොන්ටි රෝඞ්ස් ලෙස ක‍්‍රීඩා කරන නිසා ධම්මික නිරෝෂන් ජොන්ටි යන සුරතල් නාමයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රසිද්ධව සිටි බව පැවසෙනවා.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදීමෙන් පසු ධම්මික නිරෝෂන් විවිධ ව්‍යාපාරවලට සම්බන්ධ වූ අතර, කොස්ගොඩ සුජීගේ කල්ලියේ ප‍්‍රබලයකු වන දසුන් මානවඩු නැමැත්තා සමග සමීප සබඳතා පවත්වා තිබෙනවා.
විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට දසුන් මානවඩු සහ බලපිටියේ දිල්ශාන් අතර කාලයක පටන් දැඩි ආරවුල් පවතී.
මොවුන් දෙදෙනාම ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරතවී සිටියි.
බලපිටියේ දිල්ශාන්, කොස්ගොඩ සුජී මෙන්ම කොස්ගොඩ තාරක සමග ද සමීප සබඳතා පැවැත්වූ අයෙක්.
ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක් ද පවත්වාගෙන ගොස් ඇති අතර මීට ටික කලකට උඩදී එය විකුණා දමා ඇති බව ද පොලිසිය සඳහන් කළා.
මෙම හෝටලය විකිණීමෙන් පසු ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළ සිද්ධියක් පිළිබඳව ද පොලිසියේ අවධානය යොමුවී තිබෙනවා.
මීට ටික කලකට උඩදී අම්බලන්ගොඩ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ධම්මික නිරෝෂන් කැඳවා, ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ආරක්ෂා වෙන ලෙස දැනුම්දී තිබුණා.
ධම්මික නිරෝෂන් රට හැර ඩුබායි රාජ්‍යය වෙත ගොස් තිබුණේ එම සිද්ධීන්වලින් පසුවයි.
කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රී 9.30ට පමණ ධම්මික නිරෝෂන් සිය නිවසේ සිට යතුරුපැදියෙන් පිටතට යෑමට පැමිණි අවස්ථාවේ පැමිණි පාතාල සාමාජිකයකු ගල්කටස් අවියක් යොදාගෙන ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලා තිබුණා.
ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් එක්දරු පියෙකි. පොලිස් කණ්ඩායම් තුනක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.