දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළා.
ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පාර්ශ්ව අටක් විසින් ගොනු කර තිබෙන පෙත්සම් ඊයේ (17) යළි විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබුවා.
පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් යම් හෙයකින් පෙත්සම්කරුවන් පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු නියෝග ප‍්‍රදානය කළහොත් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට සිදුවන බවත් ඒ තුළින් ඉදිරි මැතිවරණ කටයුතුවල දී අර්බුදකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බවත් පැවසුවා.
එමෙන්ම ව්‍යවස්ථා දායක සභාව පොලිස්පතිවරයා පත් කිරීමේ දී නිවැරදිව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ, ව්‍යවස්ථා දායක සභාවට කිසිදු ආකාරයක විධායක බලපෑමක් සිදු කළ නොහැකි බැවින් මෙහිදී කිසිදු ආකාරයක පරිපාලන හෝ විධායක ක‍්‍රියාවක් මගින් කිසිම අයකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවයි.
එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව විධායකයට හෝ ව්‍යවස්ථා දායකයට පරිබාහිර වූ ස්වාධීන සභාවක් බැවින් එහි තීරණ නිවැරදි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එබැවින් මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් අධිකරණ කරුණු වසං කර ඇති බවයි.
එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවට සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාගේ තීරණ අනුමත කිරීම හා නොකිරීම බවත් ඒ අනුව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ව්‍යවස්ථා දායක සභාව විධිමත් ක‍්‍රියාපටිපාටියට යටත්ව අනුමත කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ද ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙන ඉවත් දමන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.
එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පවසනවා.
එබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබුණා.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයින්, දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම් විභාගය යළි හෙට සිදු කිරීමට නියමිතයි