ජනාධිපතිවරණය අත ළඟ තියාගෙන රනිල් ඇතුළු නඩේ දාන සෙල්ලම්

මැතිවරණය ආසන්නයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් රටේ සම්පත් ඉතාම වේගයෙන් කුණු කොල්ලයට විකුණමින්, යහළුවන්ට බෙදා දෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

සංචාරක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රජා පොලිස් කමිටු, යොදවා ගෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ගෙන යන අතරම පොළොන්නරුව ගොවිපොළේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වංචා අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අතරතුර දීය.

“අද මේ වන විටත් පාස්පෝර්ට් කාර්යාලය ළඟ ඇතිවී තිබෙන උණුසුම් තත්වය පාලනය කරන්න කැරලි මර්දන පොලීසිය යොදවලා . තමන්ගේ පාස්පෝර්ට් එක ගන්න පැමිණි 3000කට අධික පිරිසක් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වී සිටියදී එය ඔන්ලයින් ඔස්සේ පමණක් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඊට අදාළ අභ්‍යන්තර චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන්නේ පෙරේදා, 17 දිනයි. ඊ පාස්පෝර්ට් එකක් ලබාදීම වෙනුවෙන් මේ චක්‍රලේඛය නිකුත් කර ඇති බව කියනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී හෙළි වූයේ ඊ පාස්පෝර්ට් සේවාව ලබාදීමට ටෙන්ඩර් කැඳවා රනිල් වික්‍රමසිංහලාගේ යාළුවෙකුට ලබාදී ඇති බවයි. මේ සේවාව ලබාදීමට අවශ්‍ය හැකියාව ඔවුන්ට තිබෙනවාද යන්න සොයා බැලීමකින් තොරව ටෙන්ඩරය ලබා දී ඇති බව මේ වන විට හෙළි වෙනවා. තව පැත්තකින් ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම යාළුවන්ට ලබාදීම වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා.

රටේ සම්පත් තමන්ගේ යහළුවන්ට පවරා දෙන්න වේගයෙන් ක්‍රියා කරන ආකාරය නිකවැරටියේ පශු සම්පත් ගොවිපළ පවරා දීමට දරන උත්සාහයෙන් හෙළි වී තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම්, ගොවිපළේ සේවකයන් පළ කර තිබෙන විරෝධය නොතකා ප්‍රධාන පාරට මුහුණ ලා තිබෙන අක්කර 20ක ඉඩම අවුරුදු 30කට බදු දී තිබෙන්නේ රුපියල් 60,000ක බද්දකට යටත්වයි. පශු සම්පත් ගොවිපළ නිලධාරීන් මෙයට විරුද්ධව දිගින් දිගටම විරෝධත්වය පළ කර තිබියෙදී මේ ගොවිපළේ අක්කර 1000ක ඉඩමෙන් අක්කර 20, 25, වැනි කැබලිවලට කඩා හිතවතුන්ට බෙදාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත ඡන්දයට පෙර ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා. ඒ වගේම පොළොන්නරුව නගරය මධ්‍යයේ තිබෙන රුපියල් කෝටි පහක තක්සේරු වටිනාකමින් යුතු පර්චස් 40ක ඉඩම රුපියල් කෝටි දෙකකට නව තක්සේරු වාර්තාවක් ලබාගෙන හිතවතෙකුට බදු දී තිබෙනවා.

සතොසට අයත්ව මත්පැන් බලපත්‍ර 100ක් ලබා දී තිබෙනවා. එයින් 51ක් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ සූදානමක් අර්ජුන් ඇලෝසියස්ලා එකතු වී දියත්කර තිබණා. අපි ඒ පිළිබඳව හෙළි කළ නිසා තාවකාලිකව නවත්වා සතොස ගබඩා තමන්ගේ හිතවතුන්ට ලබාදෙමින් සිටිනවා. මැකලම් පාරේ රථ ගාල රුපියල් ලක්ෂය බැගින් බදු දෙන්න සූදානම් කර තිබෙනවා. නුවරඑළිය රෝහල ආසන්නයේ සතොසට අයත් බංගලාව ලක්ෂ 05ක තක්සේරුවක් තිබියෙදී යහළුවන්ට රුපියල් එක් ලක්ෂ 15දාහක කුලියට දෙන්න සූදානම් කර තිබෙනවා. කම්කරු අමාත්‍යාංශයේ විදේශ රැකියා සම්බන්ධ කොටස පමණක් ඇමතිගේ කටයුතු වෙනුවෙන් සක්‍රීය කොට තිබෙනවා. “ජයගමු ශ්‍රී ලංකා” කියන ප්‍රචාරක වැඩපිළිවෙල මේ වන විට නගර 22ක ප්‍රදර්ශන පවත්වා අවසන්.

පසුගිය වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිසට වඩා මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ඇතුළේ විදේශ රැකියා සඳහා ගිය පිරිස් වැඩිවී නැහැ. නමුත් මේ එක් ප්‍රදර්ශනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 200ක් විදේශ රැකියා කාර්යාංශයේ මුදල් වැය කරනවා. කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතිව ඇමතිගේ හිතවතෙකු හට මේ ප්‍රදර්ශන කුටි සැකසීම සඳහා රුපියල් ලක්ෂ 200 බැගින් ලබා දෙනවා. දැනට රුපියල් ලක්ෂ 4400ක් වියදම් කර අවසන්.

සංචාරක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රජා පොලිස් කමිටු, යොදවා ගෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ගෙන යනවා. ජනතාවගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමට තිබෙන සල්ලි මේ ආකාරයෙන් තමන්ගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 75ක් නැති පසුබිමකයි. පාසල් ගණනාවක ලයිට් කපා තිබෙන පසුබිමකයි. ඡන්දයට බයේ ඉන්න පාලකයන් මහජන ධනය මේ ආකාරයෙන් යොදා ගැනීම නැවැත්වීම සඳහා අවශ්‍ය බලය යොදවන ලෙස මැතිවරණ කොමිසමට අවධාරණයෙන් මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ නීතිපතිට උපදෙස් ලබාදී අධිකරණයේ විභාග වෙමින් පැවති අධි චෝදනා 31කට අදාළ ලිපිගොනු පසුගිය කාලයේ ඉවත්කර ගෙන තිබෙනවා. නමුත් මේ අවස්ථාවෙත් පොළොන්නරුව ගොවිපොළේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වංචා අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධ නීතිමය ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගන්නා අතර මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිවත් ෆයිල් දෙකක් තිබෙන බව මතක් කරනවා. ඊට අමතරව පසුගිය කාලයේ අපි ඉදිරිපත් කළ වංචා, දූෂණ සියල්ලට අදාල නීතිමය ක්‍රියා මාර්ග ජාතික ජන බලවේගයේ රජයකින් නිසි පරිදි ක්‍රියාත්මක කරන බව අවධාරණය කරනවා.”

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!