චරිත් නෙවෙයි බුදු හාමුදුරුවෝ ආවත් එච්චර තමයි

ජුලි 29 වැනි දා සිට සතියේ දිනවල රාත්‍රී 9 ට සිරසේ අලුත් වැඩක් වෙනවා.

ඒ දිල්ෂාන් පතිරත්න තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන “මී මැස්සා” ටෙලි නාට්‍යය විකාශය වීම.

“මී මැස්සා” මේ වනකොටත් වෙනස්ම වැඩක් විදියට හිට් වෙලා. ඒ “මී මැස්සා’ කියන වචන දෙකවත් නැතුව කරපු අමුතුම ඇඩ්වටයිසින් කැම්පේන් එකක් නිසා.

මොනම මී මැස්සෙක් ගැනවත් නොදන්න අපි දැන් ටික දවසක ඉඳන් චරිත් අබේසිංහගේ ප්‍රොෆයිල් එකේ වෙන අමුතු වැඩ කෑලි ටිකක් ගැන ඇහැ ගහන් හිටියේ ආ ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියන සිතුවිල්ලෙන්මයි.

ඉතින් ඒක හැමෝටම දරාගන්න පුළුවන් දෙයක් වුනේ නැහැ. මොකද චරිත් අබේසිංහලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ මිනිස්සුන්ගේ ඔළුවල හෙමිහිට දැවැන්‍ත චරිතවුණු කලාකරුවෝ. තණ බිස්සක ඇවිදගෙන යනවා වගේ හිත් උඩින් පරිස්සමට ඇවිදගෙන ගිය අය. ඉතින් එක පාර දේශපාලනයට එනවා කිව්වම මිනිස්සුන්ට හිතුණා දේවාලෙ ඉහ උඩම කඩන් වැටෙයි වගේ එකක්. ඒක නිසා හැමෝම වගේ කිව්ව දන්න නළුකම කරන් ඉන්න වඳින්නම් කියලා.

ගොඩක්ම දෙනා කිව්වෙ අපරාදේ හොඳ ඇක්ටර් කෙනෙක්, නිවේදකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදක කෙනෙක්. කලාවට දෙයක් කරන්න පුළුවන් මනුස්සයෙක්. නාස්ති වෙන්න හදනවා කියලා. මොකද අපට තියෙනව උගත් පාඩම්. කලාකරුවන් නලාකරුවන් වුණු හැටි. ජැක්සන් වගේ ප්‍රතාපවත් කලා පිළිම මිනිස්සුන්ගේ ඇස් ඉස්සරහම කඩා පාත්වෙලා සීසී කඩ බිඳිල විසිරිලා ගිය හැටි. කලාකරුවා සහ දේශපාලනය අතර තියෙන්නෙ ආදරයයි වෛරයයි අතරෙ වගේම කෙස් ගහක වෙනසක්.

අපි කැමති නෑ ගල් පිළිම බොල් පිළිම වෙනව දකින්න. ඒ නිසාම චරිත් රොටි කනවට, එක එක පක්ෂ කාර්යාල ඉස්සරහ හිටගෙන ඉන්නවට මිනිස්සු එක පයින් විරුද්ධ වුණා.

ඒක පීක් එකට එනකොට චරිත් ප්‍රෙස් රිලීස් එකක් තියලා යන්තම් කඩාගෙන පාත්වෙන්න ගිය දේවාලෙ උර දෙක තියලා නවත්තගත්තා.

මං හිතන්නේ ඒක ඩ්‍රාමා එකක් කියන එක මිනිස්සුන්ට සැනසීමක් වුණා.

චරිත් ගහෙන් ගෙඩි එන්න වගේ එයාගේ සමාජ මාධ්‍යවල පත්තු කරපු මේ නිවුස් එකෙන් ඇත්තටම මිනිස්සු අවුල් ගියා. තමන් ආදරය කරන කලාකරුවා කියන කෙනා තමන් වෛර කරන දේශපාලනය වගේ මඩ ගොහොරුවක දකින්න මිනිස්සු කැමති නැහැ කියන එක ඒකෙන් නැවතත් ඔප්පු වුණා. මේක හරියටම ගත්තොත් මාකටින්වලින් එහාට ගිය ගැඹුරු සමාජ දේශපාලන කියවීමක්. හැම කලාකරුවෙක්ම කියවගන්න ඕන රිසර්ච් එකක්. ඇයි මිනිස්සු චරිත් දේශපාලනේට එනවට විරුද්ධ වුණේ. චරිත් ඒකට මේ දුන්නු උත්තරේ වැදගත්.

“ඇත්තනේ කලාකරුවෝ දේශපාලනයට ගිය අය මේ වෙනකොට මැරිලා. සමහරුන්ට වෙඩ් තියලා. සමහරු වෙඩි තියාගෙන.

මං ප්‍රෙස් එකේ දිත් කිව්වෙ අපට දේශපාලනෙන් මිදෙන්න බෑ. කලාකරුවෙක් වුණත් කවුරු වුණත් අපේ ඇඟේ දේශපාලනේ තියෙනවා. ඒකෙන් මිදුණොත් බහුතරේ ගන්න තීරණවල ප්‍රතිඵල අපටත් විඳින්න වෙනවා. ඒ නිසා දේශපාලනයට එනවා කියන එකේ දි මං බලන්න ඕන මට කලාවෙන් නැතිවෙන දේ මොකක්ද කියලා. ඇත්තටම මේ වෙලාවෙ නම් දේශපාලනේට එන එක මට පාඩුයි. කලාවෙන් ලොකු දෙයක් එකතු කරගෙන තියෙනවා. විශේෂයෙන් ලොකු ආදරයක්. ඒ නිසා දේශපාලනය ද කලාව ද කියලා ලංසුවක් තිබ්බොත් මං තෝරගන්නෙ කලාව”

දේශපාලනේ ද කලාව ද කියලා ඇහුවොත් චරිත්ට සිද්ධ වෙන්නෙ කලාව තෝරගන්න තමයි. ඇත්තටම මිනිස්සුන්ට සේවය කරන්න පවතින ක්‍රමය වෙනස් කරන්න ඔහුට ඕන කියලා උපකල්පනය කළත් මිනිස්සු ඒක පිළිගන්න තත්ත්වයක නැහැ. සමස්ත දේශපාලන ක්‍රමය සහ ඒ ක්‍රමය ආව දුර ඒ දුර ඇදගෙන ආව අය ගැන බිඳ වැටුණු විශ්වාසය එක්ක චරිත්ල දිහා වුණත් මිනිස්සු බලන්නෙ ඒ කෝණෙන්.

අපි කැමති නෑ ඔයා දේශපාලනෙට එනවට. ලප් තැනම ලොප් කළේ ඒකයි. මොකද නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරොවෙන් කපන්න තියා ගත්තම නතර වෙන්නෙ කොතනින්ද කියලා මිනිස්සු දන්නවා.

චරිත් අබේසිංහ පවතින දේශපාලනයට කඩේ ගිය හෝ එහෙම ගිහින් නාස්ති නොවුණු කලාකරුවෙක් අපි දන්න තරමට. ඉතින් ඒ වගේ තත්‍ත්වෙක ගයාන්ලා පේෂලලා, ඉරාජ්ලා, පිංපොංලා, අර්ජුන් කමලනාත්ලා, අනර්කලීලා, මාලනීලා, ගීතලා, පබාලා, සුදාලාටත් චරිත්ගේ රිරිසර්ච් එක ගැඹුරින් කියවගත්‍ත නම් සෑහෙන්න වටීවි.

චරිත් දේශපාලනයට එනවා කිව්වම මිනිස්සු එයාට කිව්වෙ මොනවද කියන තැනින් මේක නවත්තන්න වෙනවා.

“ගොඩක්ම කිව්වෙ දේශපාලනයට එන්න එපා කියලා. ඡන්දෙ දෙන්නම් එන්න වගේ කිව්ව හරිම අඩුයි. ඒකම හොඳ පෙර ලකුණක්. මිනිස්සුන්ගේ ආදරය තියෙන්නෙ කොතනද කියන එක. ඔතන නළුවෙක්ට හෝ කලාකරුවෙක්‍ට වෙන්න පුළුවන් ලොකුම අසාධාරණේ තමයි ඒගොල්ලො දැනටමත් ජනතා ආකර්ශනේ දිනා ගත්ත අය. ඒ ජනතා කැමැත්ත අවභාවිත වෙනවද දේශපාලනයට ආවම කියන එක”

ජනතා කැමැත්ත අවභාවිත කරපු ඒවගේ ප්‍රතිඵල තමයි කියලාත් චරිත්ගේ කතාවට ඌණ පූර්ණයක් කරන්න අපට පුළුවන්. චරිත් තියා බුදු හාමුදුරුවෝ ආවා කිව්වත් අනේ බුදු හාමුදුරුවනේ බණක් කියාගෙන පන්සලට වෙලා ඉන්න කියල තමයි මිනිස්සු අද කියන්නේ.

ඇත්තටම එතකොට චරිත්ලටත් බැරිනම් කලාකාරයන්ටත් බැරිනම් සංඝයා හෝ පූජක උතුමන්ටත් බැරිනම් ව්‍යවසායකයින්ටත් බැරිනම් කාටද අපිව පාලනය කරන්න පුළුවන්.

“මී මැස්සා” බලමු. සමහර විට උත්තර හොයාගන්න බැරි වෙන එකක්නෑ.

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!