මාණික්කාවත කියන්නේ ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැලඳගත් ටෙලි නිර්මාණයක්. මාණික්කාවතේ ගුණාදරී කියන්නේ ප්‍රේක්ෂක සන්තානයේ හැමදාටම රැඳී තිබෙන චරිතයක් බව නම් නොඅනුමානයි.
අන්ධ චරිතයකට පණ පෙවීම ඉතාම අසීරු කටයුත්තක්. මාණික්කාවත නවකතාවෙන් පාඨකයන්ගේ සිතේ වැඩුණු ගුණාදරීව ටෙලි නාට්‍යයෙන් ඉස්මතු කිරීම ඊටත් වඩා අභියෝගාත්මක කාර්යභාරයක්. එම අභියෝගයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ගුණාදරී නම් අන්ධ කාන්තාවගේ චරිතයට පණ පෙවූ වොල්ගා කල්පනී මෙවර රයිගම් සම්මාන උළෙලේ දක්ෂතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.
ඉතින් ඇය ලැබූ ජයග්‍රහණය පිළිබඳව සහ කලා කටයුතු පිළිබඳ කතාබහ කරන්නට මෙවර ඇය සමඟ පිළිසඳරකට එකතු වුණා.
මෙවර රයිගම් සම්මාන උළෙලේ දක්ෂතම නිළිය ලෙස ඔබ සම්මානයට පාත්‍ර වුණා. මේ ගැන මොකද හිතෙන්නේ?
මට ඒක වචනවලට පෙරළන්න තේරෙන්නේ නැහැ. ඒ හැඟීම විස්තර කරන්න මගේ ළඟ වචන නැහැ.
මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරී කියන්නේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත් චරිතයක්. ගුණාදරීට ලැබුණු ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ටෙලි නාට්‍යයේ ගුණාදරී විධියට මාව දැකපු මුල් එපිසෝඩ් එකෙන් පස්සේ ප්‍රේක්ෂකයන් මට වෙනම විධියකට සලකන්න පටන් ගත්තා. ප්‍රේක්ෂකයා ඒ චරිතයට සෑහෙන්න ආදරය කළා. මිනිසුන්ට බයක් තිබුණා නවකතාවේ ලියලා තිබුණු සහ මිනිසුන්ගේ හිතේ තිබුණු ගුණාදරී ටෙලි නාට්‍යයෙන් එළියට එයිද කියලා. මිනිසුන්ගේ හිතේ ඇඳිලා තිබුණු ගුණාදරීව මට එළියට දෙන්න පුළුවන් වුණා කියලා මම සිතනවා.
අන්ධ චරිතයක් නිරූපණය කිරීමේදී ඔබට ලැබුණු අභියෝග මොනවද?
ඇස් පේන කෙනෙක් අන්ධ චරිතයක් රඟපාන එක අසීරු දෙයක්. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන සුගත් මහතාව සහ ඔහුගේ බිරියව. ඔවුන් දෙදෙනාටම ඇස් පෙන්නේ නැහැ. මම එයාලගේ ගෙදර ගිහින් ඉඳලා එයාලගේ අත්දැකීම් බෙදා ගත්තා. සුදත් රෝහණ අධ්‍යක්ෂතුමා ඇතුළු කැමරා ශිල්පීන්, රංගන ශිල්පීන් සියලු දෙනාගේ සහයෝගය මට ඒ වෙනුවෙන් ලැබුණා. මට තිබුණු ලොකුම අභියෝගය තමයි ඇස් පේන්නේ නැති කෙනෙක් විධියට ඉන්න එක. නමුත් ඒ හැඟීමට මම ටික ටික හුරු වුණා. සම්මානය අතට ගත්ත වේලාවෙත් මම කිව්වේ ඇස් පේන්නේ නැති හැමෝටම මේ සම්මානය උපහාරයක් වෙන්න ඕන කියලා.
සුදත් රෝහණ අධ්‍යක්ෂවරයා සමඟ කටයුතු කරන්න ලැබීම මොනවගේ අත්දැකීමක්ද?
ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මට හීනයක් තිබුණා සුදත් රෝහණ අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරන්න ඕන කියලා. මට ඒ භාග්‍යය ලැබුණා. ඔහු හරිම නිහතමානී පුද්ගලයෙක්. නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. අපේ ළඟට ඇවිල්ලා හරිම හිමිහිට දේවල් තේරුම් කරලා දෙනවා. මම අධ්‍යක්ෂ කියලා ප්‍රතිරූප නඩත්තු කිරීමක් ඔහු තුළින් දකින්න ලැබෙන්නේ නැහැ. හරිම සුහදශීලීව සහ හැමදේටම සහයෝගය දීලා වැඩ කරනවා. ඔහු වසර අටකට පමණ පසුව තමයි ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ. සුදත් මහතා සමඟ වැඩ කරන්න මෑත පරම්පරාවේ රංගන ශිල්පිනියන් අතරින් මට වාසනාව තිබුණා.
ක්‍ෂේත්‍රය තුළ සම්මානයට පාත්‍රවීම වෘත්තීය ජීවිතයට පිටිවහලක් වනවාද?
ඇත්තටම පිටිවහලක් වෙනවා. කලාකරුවන් රඟපාන්නේ සම්මාන බලාගෙන නෙවෙයි. නමුත් සම්මානයක් කියන්නේ ජීවිතේට ලොකු හයියක්.
දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස රයිගම් සම්මානයට නිර්දේශ වුණු අනෙක් රංගන ශිල්පිනියන් ගැන මොකක්ද කියන්න තිබෙන්නේ?
උමා අසේනි ගැන විශේෂයෙන්ම කියන්න ඕන. ඇය මාණික්කාවත වෙනුවෙන් මා හා සමානවම කැපවුණා. ඒ වගේම දමිතා අබේරත්න කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇත්තටම එයාලා ගැන කතා කරන්න තරම් මම ප්‍රවීණ නැහැ. එයාලා අතිදක්ෂයන්. සම්මානය ලැබුණේ නැතත් සම්මානයට නිර්දේශ වීමම එක්තරා විධියක සම්මානයක්.
ඔබත් සමඟ සම සම්මානයට පාත්‍ර වුණු උමාලි තිලකරත්න ගැන මොකක්ද කියන්න තිබෙන්නේ?
උමාලි තිලකරත්න කියන්නේ හොඳම නිළියට හිමි සම්මානය කිහිප වතාවක්ම දිනාගත් කෙනෙක්. ඇයත් සමඟ එකම වේදිකාවක හිටගන්න ලැබීම මට ලොකු සතුටක්.
Love Born in the heart ගැන මතක් කළොත්?
මේක ගැන නම් මතක් කරන්නම ඕන. මෙය රනිල් කුලසිංහ මහතා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ධනුක ඩිල්ෂාන්, බිමල් ජයකොඩි. නිල්මිණි තෙන්නකෝන් වගේ රංගන ශිල්පීන් නාට්‍යයත් එක්ක එකතු වෙනවා. මෙය තනුජා ලුම්බිණිගේ පිටපතක් වන අතර මෙය වෙනස්ම විධියේ නිර්මාණයක්. මේ කතාවේ විංගි විධියට ඉදිරියේදී ඔබට මාව දැකගන්න ලැබෙයි.
කාන්තාවකට විවාහය අත්‍යවශ්‍යම දෙයක් නොවෙයි. ඔබ මේ ගැන අදහස් දැක්වූවොත්?
මම දකින විධියට නීත්‍යනුකූල, විවාහ වෙන්නේ දේපළ බෙදාගන්න සහ මිය ගියහම මිනියේ අයිතිය ගන්නයි. ආදරේ කියන එක එහෙම සීමා කරන්න හොඳ නැහැ. නීත්‍යනුකූලව විවාහ වෙන එක හොඳයි. නමුත් ආදරේ කියන්නේ කොටුකරගෙන අල්ලගෙන තබාගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක විශ්වාසය මත රැඳෙන දෙයක්. කොන්දේසි විරහිතව ආදරේ කරන්න පුළුවන් නම් විවාහය කියන දේ කොළේක තිබුණත් එකයි නැතත් එකයි.
අලුත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍යවල තරමටම මම සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. මට දැනෙන විධියේ නිර්මාණ විතරයි භාරගත්තේ. එහෙම නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඉදිරියේදී ඒ ගැන බලමු.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
මේ දිනවල සති අන්තයේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන වැකේෂන් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු සිදුවෙනවා. අප්‍රේල් මස 11 වැනිදා සිට ස්වර්ණවාහිනියේ “සිත් යාය” ටෙලි නාට්‍යය විකාශනය වීමට නියමිතයි. සුපුන් රත්නායක මහතාගේ ‘ තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයත් ඉදිරි මාසයේදී බොහෝ විට විකාශනය වීමට නියමිතයි. ඒවා තමයි ඉදිරි වැඩ කටයුතු.
– චමෝදි පෙරේරා