ලාභ උපයන වත්මන් ක්‍රමය තුළ සිය අත් දෙකෙන් බාල ඖෂධ රෝගීන් වෙත ලබා දීමට සිදු වූ බවත් එම තත්ත්වයට සිය වෘත්තිය පහළ දැමූ සිස්ටම් එක සමඟ ඇති ගණුදෙනුව එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා විසඳා ගැනීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (28) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ජාතික ජන බලවේගයේ හෙද සමුළුව අමතමිනි.
එළැඹෙන පුනරුද සමය තුළ සැබෑ විභවයන් සහිත හෙද වෘත්තියක් ආරම්භ කිරීම සිය ඒකායන බලාපොරොත්තුව බව සියලුම හෙද හෙදියන් වෙනුවෙන් ඔහු සඳහන් කර සිටියා.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.
“මෙය මානව ප්‍රේමය මත ගොඩ නැගුණු වෘත්තියක්. මානව ප්‍රේමය බිඳ වැටෙන්නේ කොතන ද හෙද සේවයල් ලෝකයේ කොහේ හෝ තැනක සිට ඊට විරුද්ධව නැඟී සිටිනවා.
දුක මාකට් කරන, ලෙඩ මාකට් කරන ඒ තුළින් ලාබ ලබන ලාබ උපයන ක්‍රමයක් ඇතුළෙ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව කියන එක අභියෝගයක්. ඒ අභියෝගය දරාගෙන වැඩ කරන මිනිස්සු අපි. කොච්චර සටන් කරත් කොච්චර කෑ ගැහුවත් අපේ මේ අත් දෙකෙන් බාල බෙහෙත් ලෙඩාට දෙන්න සිද්ධ වුණා. අපේ මේ අත් දෙකෙන් ඖෂධ කියල වතුර ඉන්ජක්ෂන් ලෙඩාට ගැහුවා. ලෙඩ්ඩු අපි ගැන කොයි තරම් විශ්වාසයෙන් හිටියත් අපේ අත් දෙකෙන් දීපු ඖෂධවලින් මිනිස්සු මැරුණා. ඒ නිසා අපට ගණුදෙනුවක් තියෙනවා මේ සිස්ටම් එකත් එක්ක. මේ ලාභ උපයන ක්‍රමයත් එක්ක. සමහරු හිරේ ගියා තමයි. නමුත් ඒක ඉවර වෙලා නැහැ.
අර කවියක තිබුණා මට මතකයි “උතුරන වතුරට බැස නපුරු-රස කළ තේ උගුරු-කෝප්ප පල්ලේ තනි වුණා ඉඟුරු”කියලා. ඒ ඉඟුරුවලට වෙච්ච දේම තමයි අපටත් සිද්ධ වෙලා තියෙන්නේ.”
දිවයිනේ සියලුම රෝහල් ආවරණය කරමින් හෙද හෙදි දෙපාර්ශවයේ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියා.