ලෝකේ කොහේ හිටියත් චමරි මිස් නොකරන ඇමතුම “අම්මා”

මුළු මහත් ශ්‍රී ලංකාවටම අභිමානයක් වෙමින් චමරී අතපත්තු ඊයේ (28) ආසියානු කාන්තා ලෝක කුසලානය ඔසවන විට වැඩියෙන්ම ආඩම්බරයක් තිබුණේ ඇගේ හිතේ විය යුතුය. ඒ චමරීගේ ආදරණීය අම්මාය. රටේම ආදරය දිනා ගත් ඇගේ හදවතේ වැඩිම ඉඩක් වෙන් වන්නේ අම්මා වෙනුවෙනි. චමරී හා අම්මාගේ බැඳීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ගැඹුරු එකකි. ඒ නිසාම ඇය වැඩියෙන්ම ආදරය කරන ගීතය කුමක් දැයි ඇසූ විට චමරීගේ පිළිතුර වන්නේ “දවසක් පැල නැති හේනේ” යන්නයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිරන්තරව ජය ලබාදීමේ අරමුණ ඇතිව ‘‘යකඩ දියණියක’’ ලෙස ශක්තිමත්ව නැගී සිටින ‘‘චමරි’’ට ඒ යෝධ බල – යෝධ ශක්තිය දුන්නේ ඇයගේ ඒ අම්මා ය.

ප්‍රාණ සරි මව ගැන ඇගේ ආත්මීය බැඳීම සති අග පුවත්පතකට විස්තර කර තිබුණේ මෙසේය.

අපි අතීතයට යමු, චමරිට – ‘‘අම්මාව’’ තදින්ම දැනුණ අවස්ථාව සිහිපත් කළොත්?
‘‘මගේ කුඩා කාලයේ ඉඳලම අම්මාව මට දැනිච්ච වාර අනන්තයි. ඒත් අම්මා තදින්ම දැනුණෙ අපෙ අප්පච්චි නැතිවූ දවසෙදියි. එදා තමයි මම අම්මා මොන තරම් ශක්තිමත්ව එය දරා ගත්තද කියලා දැන ගත්තෙ. අප්පච්චි සිටියදී අම්මා එහෙම නැහැ. අප්පච්චි නිසා අම්මා ආඩම්බරයෙන් සිටියෙ. ඉතින් අප්පච්චි නැති වුණාම අප්පච්චි සතු වූ ශක්තිමත් බව අම්මා අරගන්න ඇති. මම ක්‍රිකට් ගහන්න ආවේ අප්පච්චි නිසයි. එයා නැති වුණාම මම ක්‍රිකට් නවත්තන්න හැදුවා. ඒත් අම්මා කිව්වෙ ඔයා අප්පච්චිගෙ කැමැත්ත දිගටම කරගෙන යන්න කියලයි. අපේ මාමා තමයි මගේ පුහුණුකරු. ඉතින් අප්පච්චිගෙ සහ මාමාගෙ අරමුණු ඉටු කරන්න කිව්වා. ඒ දෙදෙනාටම දෙන ලොකුම තෑග්ග ඔයා ක්‍රිකට් ගහන එක කියලා අම්මා මාව ධෛර්යවත් කළා. ඒ විතරක් නෙවෙයි, ඇයට කළ හැකි සෑම යුතුකමක්ම කළා. ගෙදර දේවල් සියල්ල ඇය බලා ගනිද්දි මට මගේ ගමන යන්න මාර්ගය හදලා දීලා මට මහා ශක්තියක් දුන්නෙ.

ගෙවී ගිය ඒ කාලයේදි වෙනත් විශේෂිත මතක අතරට ගියොත්?
විශ්වාස කරන්න, කුඩා කාලයේදී වගේම මට අවුරුදු 15 වෙනකල් මට කැව්වේ – පෙව්වේ අම්මා. අවුරුදු 15 ක් වගේ වෙනකල් මම මගේ අතින් ‘‘අනලා’’ බත් කාලා තිබුණෙ නැහැ. අම්මගෙ අතින් කන්නෙ.

අදටත් එහෙමද?
අදටත් ගමේ ගියාම අම්මා කවන්නෙ.

‘‘අම්මා’’ ගැන විග්‍රහ කරන්න කිව්වොත් කොහොමද ‘‘චමරි’’ ඒ විග්‍රහය කරන්නෙ?
මගේ ජීවිතය වුණේ අම්මායි – අප්පච්චියි. දැන් මගේ මුළු ජීවිතයම අම්මා. මේ ලෝකෙ වටිනාම දේ මට අම්මා.

මේ ගෙවී ගිය කාලයේදී අම්මාගෙ හිත රිදවලා තියෙනවද? නැත්නම් සතුටු කළාය කියලා ඔබ සතුටු වෙනවද? ඒ මොන වගේ අවස්ථාවලදීද?
‘‘අප්පච්චි’’ මිය ගියාට පස්සෙ මට අම්මා වෙනුවෙන්, ඇයගෙ සතුට වෙනුවෙන් මට කළ හැකි සියලු යුතුකම් කළාය කියලා හිතනවා. ඒවා මුදල්වලින් විතරක් නෙවෙයි, සමාජයේ දරුවකු සිටිය යුතු විදිය, වගේම ගුණ යහපත්ව කටයුතු කළ විදියේ සිට සෑම අතකින්ම ඇයට ගෞරවයක් ඇතිවන විදියට කටයුතු කරමින් සිටිනවා. සමහර වෙලාවට ඇය කියන දේ අහන්නෙ නැතුව මම ගත්ත තීන්දු – තීරණවලදී ඇය දුක් වෙලත් ඇති. වැඩිපුර යාළු ආශ්‍රයට නොයා, වැඩිපුර කාලය ගෙදර ඉන්න කියලා එදා කියද්දී මම ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. ඒත් වයස 25 න් වගේ පසුව මම අම්මා කී විදියට කටයුතු කරන්න පටන් ගත්තා. සාර්ථක වෙන්න රහස වුණෙත් අම්මාගෙ ඒ උපදෙස්. දැන් නම් ඉතින් ලංකාවේ ඉන්නවා නම් අම්මා එක්ක මහගෙදර ඉන්නෙ. ලෝකෙ කොහේ හිටියත් ඒ සැනසීම තරම් දෙයක් තවත් නැහැ.

අම්මා හදන කෑම වලින් වඩා කැමති?
අම්මගෙ අඹ මාළුව සහ චිකන් කරිය. ඒ වගේම උදේට හදන කිරි හොදි සහ මම ආසම ඉඳිආප්ප කන්න. ඒ වෙනුවෙන් හදන සම්බල සහ හොද්දට හරිම ආසයි.

අම්මගෙන් තවමත් ඔබ ඉගෙන නොගත්ත දේ?
ඇය සතු ඉවසීම. ඒ ඉවසීමේ ගුණාංගය. ඒ ඉවසීම මහා පුදුමාකාරයි. මට ඒ ගුණාංගය පුරුදු වෙන්න තියෙනවා. ඒ වගේම ඇය සතු ආත්ම විශ්වාසයත් ඉහළයි. මට ඒ ගුණයත් ප්‍රගුණ කරන්න තියෙන දෙයක්.

මේ ගෙවුණු කාලයේදී අම්මා ඔබ ගැන වඩා සතුටු වූ අවස්ථාව?
සෑම මොහොතකදීම අම්මා මා ගැන සතුටු වෙනවා කියලා මම හිතනවා. මුළු ලෝකයක් මාව අගයද්දී, ඒ ඇගැයීම පිටුපස සිටි යෝධ ශක්තීන් වුණේ අප්පච්චි සහ අම්මා. ඒත් අප්පච්චි අද නැහැ. අම්මා මා කරන සෑම දෙයකින්ම සතුටු වෙනවා. මා ගැන පළවන වාර්තා පවා සියල්ලම ඇය එකතු කරගෙන තියෙන්නෙ. මම කළ යුතු දේ ඇය කරන්නෙ. මට සිටින හොඳම රසිකාවිය ඇයයි.

‘‘අම්මයි – දුවයි’’ එකතු වුණාම වැඩිපුර කතා කරන්නෙ මොනවා ගැනද?
ඉදිරියේදී අපි කොහේද ඇවිදින්න යන්නෙ, මොනවද නරඹන්නෙ, වගේ දේ ගැන තමයි කතා කරන්නෙ. ගෙදරදි ක්‍රිකට් ගැන කතා වෙන්නෙම නැහැ. මම ක්‍රිකට් ගහනවද කියලා මතකවත් නැති තරම්. අපි අැත්තටම ඇවිදින්න යන්නෙ ‘‘ජය ශ්‍රී මහා බෝ සමිඳු’’ වඳින්න සහ දළදාමාළිගාවට. ගොකරැල්ලෙ ඉන්න නිසා නුවර යන්න ගත වෙන්නෙ පැයයි. උඩමළුවට යන්න පැය එකහමාරක් වගේ ගත වෙන්නෙ. කොහොමටත් මාළිගාවට වැඩිපුර යන්නෙ මගෙ පුංචි අම්මා ඉන්නෙ නුවර නිසා.

‘‘අම්මා’’ ඔබ මොන විදියට ඉන්නවටද කැමති?
පුංචි කාලයේ ඉඳලම මට කිව්වෙ සරලව ඉන්න කියලයි. ජීවිතයට මොනදේ ලැබුණත්, හැකිතාක් සරල වෙන්න සහ ගමට ආවාම ගමේ විදියට ජීවත් වෙන්න කියන දේ අම්මා වගේම අප්පච්චිත් මට නිතර කියූ දෙයක්.

‘‘අම්මා’’ එක්ක පිටරට සංචාරවලටත් එක්කගෙන යනවද?
අසනීප තත්ත්වය මත එයාට යන්න ටිකක් අපහසුයි. ඒත් ඉන්දියාවට එහෙම එක්ක යනවා. කොහොමටත් ඉදිරි කාලයේදී මගේ අදහස අම්මා එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමටයි. මගේ ඥාතීන් කීප දෙනෙක්ම එහි සිටිනවා. එයාලා එහේ නතර වෙන්නම කියද්දී මම තමයි තව ටිකක් ලංකාව අල්ලගෙන ඉන්නෙ. ලංකාවට ලෝක කුසලානයත් ගෙනැල්ලා දීලා, ඒ යුතුකම කළ පසු මම එහි යාවි. මගේ එකම සහ අවසාන අරමුණ ලංකාවට ලෝක කුසලානයක් ලබාදීමටයි.

විවාහය ගැන අම්මා මොන වගේ උපදෙස්ද දීලා තියෙන්නෙ?
මුල් කාලයේදී නම් අම්මා නිතරම කිව්වෙ ඉක්මනට විවාහ වෙන්න කියලයි. ඒත් පසුව ඇය මගේ වෘත්තියමය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වගකීම ගැන වටහා ගත්තා. ඒ වෙනුවෙන් මම කරන කැපවීම මහන්සිය ගැන තේරුම් ගත්තට පස්සෙ ඒ ගැන වැඩිය කතා කළේ නැහැ. කරන දේ හරියට කරලා ජීවිතයේ ඊළඟ අදියරට යන්න කියලා තමයි අම්මා උපදෙස් දෙන්නෙ.

ලාංකීය සමාජයේ මව්වරු සහ දූවරු අතර තිබිය යුතුම හොඳම ගුණාංගය ලෙස ‘‘චමරි’’ දකින්නෙ?
කිසිම විටෙක අම්මා හෝ තාත්තාගෙ දුරකථන ඇමතුමවත් මගහරින්න එපා. යාළුවකු හා බැඳීමක් දෙදෙනා අතර තිබිය යුතුයි. අපට තේරුම් යන කාලයේදී එයාලා කී උපදෙස් පිළිපදිනවා නම්, ඒ තමයි අපි කරන හොඳම දේ.

අම්මාට වැඩිපුර ඔබ ගෙනැල්ලා දෙන්නෙ?
අම්මා හරි ආසයි ජුවලරිවලට. මම ඒවා ගෙනැල්ලා දෙනවා. එයා ඒවා පලඳින්නෙත් නැහැ. ඒත් හරි ආසයි. ලස්සනට අඳින්නත් ආසයි, ලස්සනට ඉන්න ආසයි. මම කොහේ ගියත් උදේම කෝල් එක ගන්නෙ අම්මාට. එදා දවසෙ මගේ වැඩ ටික ගැන කියනවා. ආයෙත් දිවා ආහාරය වෙලාවෙ කෝල් එකක් දෙනවා, හවස 5ට විතර ආයෙත් කතා කරනවා. අම්මගෙන් එන කෝල් එක නම් මම ලෝකෙ කොහේ හිටියත් මිස් කරන්නෙ නැහැ.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!