ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරෙහි වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරෙහි වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

2024.07.18 රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේ දී තීරණය කළ පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු ඒ මහතා රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධුරයේ තාවකාලිකව රාජකාරි කිරීම සඳහා සුදුසු නිලධාරියකු නම් කර නිර්දේශ සහිතව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස එදිනම පොලිස්පති දැනුම්වත් කර තිබුණා.

නමුත් 2024.07.29 දින තෙක් ඒ සඳහා පොලිස්පති නිර්දේශ ඉදිරිපත් නොවූ බවයි සඳහන් වන්නේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරට පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට ඇති බලතල ප්‍රකාරව පොලිස්පති නිර්දේශ නොමැතිව අදාළ තනතුරට පත් කිරීමට හැකියාව ඇත්දැයි නීතිපති මතය විමසනු ලැබුවා.

ඒ අනුව දැනට පොලිස්පති ධුරයේ රාජකාරී සිදු කිරීමට නිලධාරියකු නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති විමසා කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව නීතිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එකී කරුණු සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිසම විසින් නැවත දැනුම් දෙන තෙක් ලලිත් පතිනායක මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත) ලෙස් දැනට දරන නිලයට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර තිබෙනවා.

පතිනායක මහතාගේ පත්වීම ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ යාවත්කාලීන කරන ලද ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවට අනුව සිදු කළ බව සඳහන් වෙනවා.

Latest News

error: Content is protected !!