ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ජනාධිපතිවරණය හා වත්මන් භූ දේශපාලනික තත්ත්වය හමුවේ අවලංගු කර ඇති බව නවදිල්ලි නුවර ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු කිරීමට හේතු වූ මුහුදු සීමා ගැටුම් කිහිපයකින් පසුව ඇති වූ ආතතීන් මධ්‍යයේ ය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් එක් ධීවරයෙකු මිය ගොස් තවත් ධීවරයෙකු අතුරුදන් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගෝස්තු 01 වැනිදා ඉන්දියාව ශ්‍රී ලංකාවට දැඩි විරෝධය පළ කර සිටියා.
මෙම සිදුවීම සිදුව තිබුණේ බ්‍රහස්පතින්දා අලුයම කච්චතිව් දූපතට නාවික සැතපුම් පහක් පමණ උතුරු දෙසිනි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් සහ ධීවරයින් සිව් දෙනෙකු රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
මෙම සිදුවීමෙන් එක් ධීවරයෙකුට ඛේදජනක ලෙස ජීවිතය අහිමි වූ අතර තවත් අයෙකු අතුරුදහන් වුණා.
ඉතිරි ධීවරයින් දෙදෙනා බේරාගෙන කන්කසන්තුරේ ගොඩබිමට රැගෙන එනු ලැබුවා.
මෙම සිද්ධියට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය විදේශ අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා උදෑසන ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රියංග වික්‍රමසිංහ කැඳවා විරෝධතාවය ප්‍රකාශ කර තිබෙනවා.
විපතට පත් ධීවරයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට හැකි සෑම සහයක්ම ලබාදෙන ලෙස යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද සඳහන්.
මේ අතර, කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා රජයට මේ කාරණය ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
මීට පෙර ජූලි මාසයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් ද රටවල් දෙක අතර ගැටුම් කාරී තත්ත්වයක් මතු වුණා.
මෙම සිදුවීම් ජාතීන් දෙක අතර මුහුදු සීමාව කළමනාකරණය කිරීමේදී පවතින ආතතීන් සහ අභියෝග ඉස්මතු කරන්නක් ලෙසයි පවතින්නේ.
කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයෙකු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයෙකු ඝාතනය කළ විට, ශ්‍රී ලංකා රජය සහ වගකිවයුතු නිලධාරීන් ඊට දැක්වූයේ මන්දගාමී ප්‍රතිචාරයක්.
නාවික නිලධාරියා ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය නිලධාරියාගෙන් ඉල්ලා සිටි බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ බව කියන ඉන්දීය ධීවර යාත්‍රාවක් වැටලීමේ උත්සාහයක් අතරතුර පෙරළී යාමෙන් පසු මෙම සිදුවීම සිදුව ඇති බවයි.
මුහුදු සීමා උල්ලංඝණය කිරීම හෝ නීතිවිරෝධී ධීවර කටයුතුවල නියැලීම යන චෝදනා මත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙඅංශයෙන්ම ඔවුනොවුන්ගේ රටවලින් ධීවරයින් නිතර අත්අඩංගුවට පත් වීම ද මෙහි තවත් පැතිකඩකි.
සාගර ගිවිසුම් නොතකා දකුණු ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීම දිගටම සිදු කරනු ලබයි.
ධීවර ගැටළු සම්බන්ධයෙන් රජයන් දෙක අතර පවතින ගිවිසුම් දැඩි ලෙස පිළිපැදීමේ අවශ්‍යතාවය යළිත් අවධාරණය කළ ඉන්දීය විදේශ අමාත්‍යාංශය, එවැනි සිදුවීම් යළි ඇති නොවීමට සහ බලය යෙදවීම වැළැක්වීමට සියලු උත්සාහයන් ගත යුතු බව අවධාරණය කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් 2024 ජූනි 20 වැනි දින ශ්‍රී ලංකාවට සිය නිල සංචාරය ආරම්භ කරන විට ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය පිළිබඳ ඉඟි පළ වුණ ද මෙම සියලු තත්ත්වයන් හා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය හමුවේ එම සංචාරය අවලංගු වනු ඇති බවයි වාර්තා වන්නේ.