මාළිමාවේ සැලුන් දොරක් නැහැ

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට නම් රටේ ආදායම වැඩි කර ගත යුතු යැයිද ආදායම වැඩි කිරීමට නම් නිෂ්පාදනය වැඩි කළ යුතු යැයිද ඒ නිසා මේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිත ආර්ථිකයක් ගොඩනැඟීමට මාලිමාවේ ආණ්ඩුවකින් කටයුතු කරන්නේ යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඉකුත්දා බියගම, සියඹලාපේවත්තේදී පැවැති ජාතික ජන බලවේගයේ බියගම ව්‍යාපාරික හමුවේදී ඔහු මේ බව කියා සිටියා.

ජාතික ජන බලවේගයේ මාලිමාවේ සැලුන් දොරක් නැහැ. එහි තිබෙන්නේ මේ රටේ රාජ්‍ය දේපළ වංචා කළ හොරුන්ට වහපු දොරක්. ඒ නිසා මාලිමාවේ පාලනයක් තුළ හොරුන්ට නීතියෙන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නීතිය හමුවට ගෙන එනවා.

සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් තියෙන අයගෙන් අරන් නැති අයට බෙදා දෙනවා කියලා. තවත් සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් සමෘද්ධිය හා අස්වැසුම නැති කරනවා කියලා. ඉතින් මේ කියුම් තුළින් එම උදවිය උත්සාහ කරන්නේ ඇති අයයි නැති අයයි දෙගොල්ලම බය කරන්නටයි. නමුත් එහෙම දෙයක් වන්නේ නැහැ. එය අමූලික බොරුවක් බව කියන්නට ඕනේ.

මේ රට හදන්නට මුලින්ම ආදර්ශයක් දෙන්නට ඕනේ දේශපාලකයෝයි. ඒ අනුව මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අපි ව්‍යාපාර කරන්නේ නැහැ. අපි කරන්නේ දේශපාලනයයි. නමුත් අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙක්ම මන්ත්‍රි වරප්‍රසාදවලට මුවාවී ව්‍යාපාරවල නිරත වෙනවා. එම මන්ත්‍රිවරුන්ගෙන් ජනතා සේවයක් සිදු වන්නේ නැහැ.

මේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා මේ වනවිට රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. ජනතාවට ජීවත්වීමට නොහැකි අන්දමට ජීවන බර වැඩිවෙලා. ව්‍යාපාරිකයන්ගේ සිය ව්‍යාපාර කඩා වැටිලා. ඔවුන්ට යන එනමන් නැතිවෙලා. සිය ව්‍යාපාර සඳහා බැංකුවලින් ලබා ගත් ණය මුදල් ගෙවා ගන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා. ඔවුන් මුහුණ පා තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට මාලිමාවේ රජයක් යටතේ පියවර ගන්නවා.

මාලිමාව බලයට ආවොත් ව්‍යාපාර රජයට පවරා ගන්නවා කියලත් තවත් පිරිසක් ව්‍යාපාරික ප්‍රජාව අතර මතයක් ගෙනියන්නට උත්සාහ කරනවා. කිසිමවිටක අපි ඔවුන්ගේ ව්‍යාපාර පවරා ගන්නේ නැහැ. ව්‍යාපාර ප්‍රජාවට සිය ව්‍යාපාර සාර්ථකව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පහසුකම් සලසා දෙනවා.

අද බදු මුදල් ගෙවිය යුතු බලවතුන් එය පැහැර හැරලා. ඒ අය දේශපාලකයන්ගේ රැකවරණ ලබා ගෙන නිදහසේ සිටිනවා. නමුත් මාලිමාවේ ආණ්ඩුවක් බලයට පත්වූ පසු බදු මුදල් ගෙවීම පැහැරහැර සිටින බලවතුන්ගෙන් එම බදු මුදල් අය කර ගැනීමට කටයුතු කරනවා. ඒ බව දන්නා ඔවුන් මාලිමාව පරාජය කරන්නට කළ හැකි හැම දෙයක්ම කරනවා. මුදල් වැය කරනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අසෝක රන්වල, බියගම ව්‍යාපාරික සංවිධානයේ තුෂාර පෙරේරා හා අසංක පෙරේරා යන මහත්වරුද මෙහි දී අදහස් පළ කළා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...
error: Content is protected !!