“අධික වේගයෙන් කොන්ට්‍රෝල් නැතිව ආපු කාර් එක කැරකිලා ඇවිත් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආපු වෑන් එකක හැප්පිලා පස්සෙ ගැට්ටක වැදිලා ගහකත් වැදිලා දෙකට කැඩුණා. කාර් එකේ හිටිය තුවාලකරුවන් රෝහල් ගත කළා. එක්කෙනෙක්ගෙ මුහුණේ කෑල්ලක්ම කැඩී ගිහින් තිබුණා…”
පාර්ලිමේන්තු මාර්ගයේ යුද හමුදා ස්මාරකය අභියස මාර්ගයේ පෙරේදා(03දා) පෙරවරුවේ සිදුවූ බිහිසුණු අනතුරකින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවකු මරුමුවට පත්වී තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධිය ඇසින් දුටු අයෙකු එසේ සඳහන් කළා.
මෝටර් රථයේ අධික වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරුව කොන්ක්‍රීට් කණුවක සහ ගසකද ගැටී රථය දෙකට කැඩී තිබූ බවයි පොලිසිය පැවසුවේ .
තුවාල ලැබූවන් ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ ජාතික රෝහල හා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසනවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද එහි රෝහල් ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
මෙම අනතුරින් මියගොස් තිබුණේ දෙහිවල, අත්තිඩිය, දෙවැනි පටුමගේ පදිංචිව සිටි අහමඩ් හයාන් සුල්තිෆර් නමැති 16 හැවිරිදි සිසුවෙකි.
අනතුරින් මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බන්දුල ජයසිංහ මහතා හමුවේ පැවැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සී.යූ. වික්‍රමසිංහ මහතා විසින් සිදු කළා.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා, මෙම මරණය රිය අනතුරකින් සිසුවාගේ හිසට හා පපුවට සිදුවූ බරපතල තුවාල හේතු කොටගෙන සිදුවූවක් බවත්, එය මාරක රිය අනතුරක් බවත් නිගමනය කර තිබෙනවා.
මෙම බිහිසුණු අනතුර දුටු පුද්ගලයා තවදුරටත් සිද්ධිය විස්තර කරමින් මෙසේද කියා සිටියා.
“මෙම අනතුර 03 වැනිදා සෙනසුරාදා උදේ 10.30 ට විතර සිදුවුණේ. අධික වේගයෙන් ආපු රතු පැහැති කාර් එකක් කොන්ට්‍රෝල් නැතිව එනව දැක්කා. කාර් එක කැරකිලා ගිහින් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආපු වෑන් එකක වැදුණා. වැදිලා කොන්ක්‍රීට් ගැට්ටක වැදුණා. ඒත් එක්කම කාර් එක ගහේ වැදිලා දෙකට කැඩුණා. කාර් එකේ සිටි ළමයෙක් ගහට උඩින් විසිවෙලා ගිහින් බිමට වැටුණා. ඊට පස්සෙ කාර් එකේ ටයර් එකකුත් උඩින් විසිවෙලා වැටුණා. හතරදෙනෙක් හිටියා වාහනයේ. ඒ අය රෝහලට පිටත් කර හැරියා. දැක්ක හැටියට දෙන්නෙකුට අමාරුයි. එක්කෙනෙකුගේ මුහුණේ කෑල්ලක්ම කැඩිලා ගිහින් තිබුණා. ළමයාට සිහිය තිබුණා කතා කළා. කතා කළාට හඬ ආවේ නැහැ. කට සෙලෙව්වා….”
එම අනතුර සිදුවන ආකාරය මාර්ගයේ ගමන් ගත් තවත් මෝටර් රථයක තිබූ පසුපස කැමරාවක ද සටහන් වී තිබුණා. මෝටර් රථය අධික වේගයෙන් පැමිණි මාර්ගයේ අනෙක් පසට ගමන් කර එම තීරුවේ පැමිණි වෑන් රථයක ගැටෙන අයුරු එහි සටහන්ව එම දර්ශනවල සටහන් වී ඇති බව පොලිසිය පවසනවා.
අනතුර සිදුවීමට මොහොතකට උඩදී මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයා අධික වේගයෙන් එය ධාවනය කරන අයුරු එහි සිටි අයෙක් ජංගම දුරකථනයක රූගත කර ඇති බව ද වාර්තා වුණා.
එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
අනතුර සිදුවන විට මෝටර් රථයේ පුද්ගලයන් 4 දෙනකු ගමන් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මෝටර් රථය පැදවූ බව කියන 24 හැවිරිදි තරුණයා තලංගම පොලිසිය භාරයට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (06දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.
මෙහිදී රථය පැදවූ තරුණයා “මම වාහනය පැද්දෙ නැහැ…” යනුවෙන් පවසන්නට වීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණා.
අනතුරට ලක් වූ වෑන් රථය කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයට අයත් රථයක් වන අතර, එහි සිටි කාන්තාවක් ද තුවාල ලබා ඇතැයි සඳහන්.
අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප්‍රේමතිලක (77380) ඇතුළු නිලධාරීහූ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.