තණමල්විල සමූහ දූෂණයේ දැරියට හම්බන්තොට අධිකරණ වෛද්‍යවරයාගෙනුත් නරුම ක්‍රියාවක්

තණමල්විලදී සිසුන් 22 දෙනෙකුගේ අපයෝජනයට ලක්වූ දැරිය තණමල්විල පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් දැරිය බය කරමින් හා දැරිය දැඩි පීඩාවකට ලක් කරමින් ඉතා පහත් ලෙස දැරියට බැන වදිමින් පහර දීමට උත්සාහ කළ බවට දැරියගේ මව විසින් හම්බන්තොට මූලස්ථාන පොලිසියට හා කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත 11 වන දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට පත් දැරියගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ මෙසේය.

“මගේ දරුවාව මානසික පීඩනයකට ලක් කරලා සිසුන් පිරිසක් විසින් අපයෝජනය කරලා තියෙනවා. ඉතින් මේ සිදුවීම පිළිබඳව අනාවරණය වුණාට පසු අපි මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා පසුගිය 10 වන දා. ඒ අනුව, තණමල්විල පොලිසිය මගින් මගේ දරුවා පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව 11 වන දා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දරුවාව පරීක්ෂා කිරීමට මත්තෙන් දරුවාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සිදු කළා.

එහිදී වෙච්ච සිදුවීම දරුවා කියන කොටම අධිකරණ වෛද්‍යවරයා “තමුසේ කියන්නේ බොරු තමුසේ අර අහිංසක කොල්ලන්ව හිර කරන්න නේද හදන්නේ” කියලා එක සැරේ ම ළමයගේ ඇඟට කඩා ගෙන පැන්නා. ළමයා බය වෙලා ඉන්නකොට අධිකරණ වෛද්‍යවරයා දරුවා මට එළියට දුන්නා. ටික වෙලාවක් තියා ගෙන ඉඳලා කටඋත්තරය දෙන්න එක්ක එන්න කියලා. ඒ වෙලාවේ දරුවා අඬමින් කිව්වා “අම්මේ මම මෙතැනින් අරගෙන යන්න” කියලා. මම දරුවට කිව්වා මේක ඉවර වෙලා යමු ඉන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයාගෙන් දරුවට ඇතිවෙච්ච පීඩනය ඉවසා ගන්න බැරුව රෝහලේ ඉහළ මාලයේ ජනේලයෙන් දරුවා පනින්න හැදුවා. මම අල්ලගත්තේ නැත්නම් දරුවා ඉවරයි.

ටික වෙලාවකට පස්සේ වෛද්‍යවරයා දුව ආයේ කාමරයට කැඳවලා කටඋත්තරය ලියන්න ගියා. දරුවා අඬමින් යළි වෛද්‍යවරයාට වෙච්ච සිද්ධිය කියනකොට අධිකරණ වෛද්‍යවරයා ආයේ දරුවට බැන්නා “තමුසෙගේ ඔය බොරු කඳුළු හලන්න එපා. මෙතැන කිසි දෙයක් වෙලා නෑ. තමුසේ බොරු කියන්නේ කියලා.” බැරි ම තැන මම වෛද්‍යවරයාට කිව්වා ඔහොම බනින්න එපා. දරුවට වෙච්ච දේ කියන්න දෙන්න කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයා මටත් අත ඉස්සුවා ගහන්න. හැබැයි ගැහුවේ නෑ.

ඊට පස්සේ වෛද්‍යවරයා “ඉන්නවකෝ මං තමුසෙලා දෙන්නට හොඳ වැඩක් කරන්න. තමුසේ අද මොනවා කිව්වත් උසාවියේදී මේ නඩුව කැඩෙනවා. තමුසෙට ගෙදර යන්න ටිකට් කපන්න දෙන්නේ නෑ. තමුසේ ඔහොම ම පරිවාසෙට දමනවා. තමුසේ අර ඔලිම්පික් තේරිච්ච වැදගත් ළමයකුත් මේකට පටලවා ගෙන. ඒ ළමයගේ මවුපියන් වැදගත් මිනිස්සු” කිය කියා හොඳට ම ‍දොස් කිව්වා. අන්තිමේ මමත් දරුවත් හොඳට ම අසරණ වුණා. කරකියා ගන්න දෙයක් නැති වුණා අපිට. අවසානේදී අධිකරණ වෛද්‍යවරයාට ඕනි විදියට කට උත්තරය ලිව්වා.

පසුව මම මේ වෛද්‍යවරයාගේ කුරිරු ක්‍රියා කලාපය හා අශීලාචාර හැසිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික ළමාරක්ෂණ අධිකාරියටත්, හම්බන්තොට පොලිසියටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උගත් වෛද්‍යවරයෙකු ලෙස දරුවෙකුට කතා කරන්න දන්නේ නැති එක ගැන පුදුම කනගාටුවක් තියෙන්නේ. අපි වගේ තව කොච්චර නම් අසරණ මිනිස්සු මේ විදිහට මේ වෛද්‍යවරයාගෙන් අපහසුතාවට පත්වෙනවා ඇති ද? ඒ වගේ ම මේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබා දුන් තීන්දුවත් අපිට පිළිගන්න බැහැ. එම වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් හා දරුවව මානසික පීඩාවට පත්කළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර ගනීවි කියලා විශ්වාස කරනවා” යැයි ඇය පැවසුවාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන තණමල්විල පොලිසිය විසින් 11 වන දා සවස සිද්ධියට සම්බන්ධ සිසුන් 22 දෙදෙනාගෙන් සිසුන් 17 දෙනෙකු හා මේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා මත එක් සැකකාර සිසුවකුගේ මවක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගත යුතු වුවත් හම්බන්තොට අධිකරණ වෛද්‍යවරයා විසින් මෙම සිසුන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තණමල්විල පොලිස් ස්ථානයට ලිපියක් ද

ඊට හේතුව ලෙස දක්වා තිබෙන්නේ අපයෝජනයට පත් දැරිය විසින් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීමයි.

එමෙන් ම, වැල්ලවාය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ද නිවාඩු ලබා ගොස් ඇති නිසා සැකකාර සිසුන් පිරිස තණමල්විල පොලිසිය විසින් මොනරාගල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සිසුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධ අනෙකුත් සිසුන් සම්බන්ධයෙන් හා මෙම සිදුවීම නීතියට වසන් කළ බව කියන විද්‍යාලයේ විදුහල්පතිවරයා හා විනය කමිටුවේ ගුරුවරුන් සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර චෝදනා ඇති සියලු ම දෙනා කුමන බලපෑම ආවත් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

වෛද්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරියගෙන් මාධ්‍ය කළ විමසීමක දී අධ්‍යක්ෂවරිය පැවැසුවේ තමන් වෙත එවැනි සිදුවීමක් මේ වන තුරුත් වාර්තා වී නොමැති බවයි.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශිකාවක් පැවැසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව ත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ත් ය.

සිසුවිය අපයෝජනයට පත් කළ සැකකාර සිසුන් 22 දෙනා අතර සිටින එක් සිසුවකුගේ පියෙකු ගුරු උපදේශකයෙකු ලෙසත්, මව ගුරුවරියක් ලෙසත් කටයුතු කරන අතර මෙම සිදුවීමට අදාළව මේ වන විට සැකකාර සිසුන්ගේ පාර්ශ්වයෙන් දැරියගේ පාර්ශ්වය වෙත දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව ද වාර්තා වෙමින් පවතී.

කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...
error: Content is protected !!