විපරීත වූ ගොළු හදවත, පාසල් ප්‍රේමය හා ජනේලෙන් බිමට පැනීමට නියමිත ළමයි

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ගැහැණියකට තනිව පයින් ගමන් කිරීමට හැකි වාතාවරණයක් ඉස්සර තිබුණලු.

ඒ දිවයින මේ වෙනකොට පුංචි දරුවෙක්ට තනියෙන් ගෙදරක මිදුලේ සෙල්ලම් කරන්නත් බැරි මට්ටමකට පත්වෙලා. මනුෂ්‍ය ජීවිතයක මිල සෑහෙන්න පහළ ගිහින්. රු 3000කට රු 4000 කට වුණත් මනුස්සයෙක් මරන්න එකඟ වෙන පිරිසක් බිහි වෙලා. මේ වගේ වාතාවරණයක ගැහැණු ළමයෙක් පමණක් මිල අධික වස්තුවක් වෙන්නේ නැහැ.

ගැහැණු ළමයි පිරිමි ළමයි එක ගොඩේ කවලම් වුණු ඉස්කෝල (මිශ්‍ර පාසල්) කියන්නේ හරි ලස්සන තැන්. ඉස්සර නම් ඒ ඉස්කෝලවල වුණේ හරි සුන්දර දේවල්. ඒවල හිටිය ළමයින්ට තිබුණෙ බට්‍ටො පනින ටීක් ගහන රණ්ඩු වෙවී යාලුවෙන සුන්දර ලෝකයක්.

ඒ කාලෙට සිද්ධවෙන හෝමෝන විපර්යාස එක්ක හිටපු ගමන් කෙල්ලො ලොකු ළමයි වෙලා. කොල්ලන්ගේ දැළි රැවුල් මෝදුවෙලා. මූණෙ කුරුලෑ ඇවිත්. උගුරු දණ්ඩ එළියට නෙරලා. ඒවගේ ලිංගික විපර්යාසයන් වුණත් සරල සාමාන්‍ය දේවල් විදියට දරාගන්න පුළුවන් හැකියාවක් තියෙන ළමයි ඒ ඉස්කෝල ඇතුළෙ හිටියා. විරුද්ධ ලිංගික ආකර්ශනයෙ උපරිම තැන්වල කොල්ලො කෙල්ලො ආදරය කළා. ලියුම් ලියාගත්‍තා. ගොළු හදවතේ ධම්මිලා සුගත්ලා වගේ. ඒ බැඳීම්වල තිබුණේ අමුතු අහිංසක කමක්.

කරුණාසේන ජයලත්ගේ ගොලු හදවතේ තිබ්බ ඒ ඉස්කෝල දැන් විපරීත වෙලා. ලෙස්ටර් අද හිටියා නම් පාසල් ප්‍රේමය ගැන හදන්න වෙන්නෙ බ්ලූ ෆිල්ම් එකක්. ගොලු හදවතේ එක තැනක ධම්මි සුගත් එක්ක එයාගෙ ගෙදරට යනවා. යන්නෙ පාසල් වෙලාවක කැලෑ පාරකින්. අද වුණා නම් මගදි කෝල් කරලා යාලුවො රොත්තක් ගෙන්න ගන්න විදියේ සුගත්ලා ඉස්කෝලවලට පාත්වෙලා.

ඒ සුන්දර ඉස්කෝල කොහොමද එහෙම වුණේ. විකෘති සුගත්ලා ඉස්කෝල ඇතුළට ආවේ කොහොමද?

තණමල්විල දැරියක් එයාගෙම පාසලේ තවත් සිසුන් 22 ක් අතින් දූෂණය වෙලා. එයාව දුෂණය කරල නතර කරන්නෙ නෑ. වීඩියෝ කරලා ඒව ලීක් කරනව කියල තර්ජනය කරනවා. සුන්දර ඉස්කෝලෙ ඇතුළෙ බ්ලැක්මේල් වුණු ගෑණු ළමයි බිහි වෙලා.

කාටවත් එහෙම ප්‍රවෘත්තියක් ලොකු ෂොක් එකක් නෙවෙයි. අපරාධයක් මිනීමැරුමක්, නළුවෙක් නිළියෙක්ට කිවිසුමක් ගියත් වාර්තා කරන්න දුවන්න බලාගෙන ඉන්න යූ ටියුබර්ස්ලා මේ වගේ වෙලාවට මීක් නෑ.

අපි කියන්නෙ පිස්සො බල්ලො වගේ ඒ ළමයව හොයාගෙන ගිහින් ඉන්ටර්වීව් ගන්න කියල නෙවෙයි.

ඒත් ඇයි ඒ ගැන හඬක් නැත්තේ. මේ ලියන මොහොතෙත් කොල්කටා රෝහලක අභ්‍යාසලාභී පුහුණු වෛද්‍ය සිසුවියක් දුෂණය කරලා මරා දැමීමට එරෙහිව මුළු ඉන්දියාවම පාරට බැහලා ඉන්නේ. රට පුරා වෛද්‍යවරු උද්ඝෝෂණවල. රෝහල් පද්ධතියම අඩාල වෙලා.

තණමල්විල දැරියත් පැය විසි හතරක් තුළ වාර්තා වූ දෙවැනි සමූහ දුෂණය වන කලුතර දැරියත් ගැන අපි නිහඬයි සුපුරුදු පරිදිම. ස්නායු මැරුණු ජාතියක් වගේ. කමක් නෑ අපේ ගමේ නෙවෙයිනේ. තණමල්විලනේ.

අතිශය දරුණු අපයෝජනයකට ලක් වුණු දරුවෙක්ගෙන් නරුම විදියට ප්‍රශ්ණ කරන අසංවේදී අධිකරණ වෛද්‍යවරයා තවම නිදැල්ලේ. මහජනතාවගෙන් පඩි ගෙවන ආයතනයක තුට්ටු දෙකේ අධිකරණ වෛද්‍යවරයෙක් තවදුරටත් සල්ලි ගෙවලා නඩත්‍තු කරන්නෙ ඇයි කියලා කවුරුත් අහන්නෙ නැත්‍තෙ ඇයි?

තාරුණ්‍යයට එළැඹෙමින් සිටියත් ඇය තාම දැරියක්. ධම්මිලා වගේම ආදරේ කරන වයසේ ඉන්න දැරියක්. බටහිර ආසියාතික ඕනෑම රටක අනිත් දැරියන් වගේම ඉතාම සාමාන්‍ය දැරියක්. ඇය අපි කිව්ව ඉහත විපරීත සමාජ පරිණාමයේ ගොදුරක් පමණයි. ඇය වරදකාරියක් නෙවෙයි. අධිකරණ දොස්තරට අයිතියක් නැහැ ඇයව මානසිකවත් අතවරයට ලක් කරන්න. දැරියගේ මව කියන විදියට ඇය දොස්තරගේ හිංසනය දරා ගැනීමට නොහැකිව රෝහලේ ජනේලයකින් බිමට පැනීමටත් උත්සහ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය වහා මැදිහත් වී ඔහු පිළිබඳ රටට අනාවරණය කළ යුතුයි.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම දියුණු පාසලක් මෙවැනි සිදුවීමක දි කොන්දේසි විරහිතව පෙනී ඉන්නේ වින්දිත දරුවා වෙනුවෙන්. ඒත් තණමල්විල හරි පුදුම ස්කෝලේ සිදුවීම වසන් කිරීමට විශාල වෙහෙසක් දරා තිබෙනවා. එයට හේතුව මෙම අපරාධයේ එක් සිසුවකුගේ පියා ගුරු උපදේශකයෙක් වීමත් මව ගුරුවරියක් වීමත් ද?

අපට ඕන නෑ ඒ දරුවාගේ විස්තර. එයාගෙ නම ගම. අම්මා තාත්තා කවුද, පදිංචි කොහේද කියලා දැනගන්න.

ඒත් අපි දැනගන්න ඕන 22 ක් අතින් කායිකව අතවරයට ලක්වුණු දැරියට මානසිකවත් අතවරයට ලක් කරපු අධිකරණ වෛද්‍යවරයා ගැන. නල්ලමලේ ස්කෝලේ ගැන.

දුවෙක් ඉන්න පුතෙක් ඉන්න හැම අම්මා තාත්‍තා කෙනෙක්ම පුරවැසියෙක්ම ඇහැරිලා බලන්න. මේ විපත අල්ලපු ගෙදර දුවට වෙනකල්ම ඇස් කන් පියාගෙන බලාගෙන හිටියොත් ඊළඟට විකෘතිය තට්ටු කරන්නෙ ඔබේ ගෙදර දොරට.

යාපනයේ දී සමූහ දූෂණය කරලා විද්‍යාව මරලා දැම්ම වෙලේ මුළු රටම කතා වුණා. වැඩිපුරම කතා වුණේ ඇය දූෂණය වුණු විදිය ගැන. සමහරු ඔලුවේ අත තියාගෙන මැරුණ එකත් හොඳයි කියලා කිව්වා.

මොකද තවමත් අපේ ඔළු පිරිල තියෙන්නේ දුෂණය වුණු තරුණියක් නම් දැරියක් නම් ඇගේ ජීවිතේ එතනින් අවසානයි කියන සිතුවිලිවලින්. ඔහොම වෙලා ජීවත් වුණත් මොකටද මැරුණ නම් හොඳයි කියන්නේ ඒකයි. තණමල්විල දැරියට රෝහලේ ජනේලෙන් එළියට පනින සිතුවිල්ල ආවේ එවැනි තවත් එක් ඔලුගෙඩියක් නිසා. ඇගේ පාසලේ බලධාරීන්ගේ ඔලු ගෙඩිත් ඊට දෙවැනි නැහැ. එවැනි ඔලුගෙඩි පිරිච්ච ලෝකයක ජනේලයෙන් පැනීමට නියමිත දැරියන් බේරා ගැනීමේ අරගලයක් අප ඉදිරියේ තියෙනවා. පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න.

සුබා

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!