තණමල්විල පාසලක 16 හැවිරිදි ශිෂ්‍යාවකට ශිෂ්‍යයන් 21 දෙනකු විසින් ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ අපරාධය පිළිබඳ තොරතුරු වසන් කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (13දා) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විදුහල්පතිවරයාට අමතරව එම පාසලේ උප විදුහල්පතිවරයකු, උපදේශන ගුරුවරියක සහ විනය කමිටු භාර ගුරුවරයකු ද සිටින බව පොලිසිය පවසනවා.
මෙම සැකකරුවන් අද (14දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වසරකට අධික කාලයක් තිස්සේ මෙම දැරියට සැකකාර ශිෂ්‍යයන් ලිංගික අතවර කර ඇති බව පවසන පොලිසිය සැකකාර විදුහල්පතිවරයා ඇතුළු පිරිස ඒ බව දැනගෙන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බවට චෝදනා කර තිබෙනවා.
අතවරයට පත්වූ දැරිය මීට ඉහතදී මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයා විදුහලේ බලධාරීන්ට දැරියට සිදුවන අතවර පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස දැනුම් දී තිබුණ ද විදුහල්පතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය පාසල එමඟින් අපකීර්තියට පත්වන බව පවසමින් නිහඬ වී ඇති බවටයි පොලිසිය චෝදනා කරන්නේ.
විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම ශිෂ්‍යාව පාසලේ ශිෂ්‍යයන් දෙදෙනකු විසින් මුලින්ම අතවරයට ලක් කර ඇත්තේ ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය.
එම අතවර සිද්ධියෙන් පසු ශිෂ්‍යාවගේ පංතියේ ශිෂ්‍යයන් 17 දෙනකු විසින් ඇයට විවිධ අවස්ථාවලදී ලිංගික අතවර කර තිබෙනවා.
පාසල තුළදී මෙන්ම ප්‍රදේශයේ නිවාස කිහිපයකදී මෙසේ මෙම ශිෂ්‍යාවට අතවර කර ඇති බව අනාවරණය වුණා.
දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ ශිෂ්‍යයන්ට අමතරව ඔවුන්ගේ මිතුරන් වූ වෙනත් පාසල් දෙකක අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් දෙදෙනකු ද ඇයට අතවර කර තිබූ බව මේ වනවිට හෙළිවී තිබෙනවා.
මෙම අතවරයන්ට සම්බන්ධ ශිෂ්‍යයන් සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැල්ලවාය අධිකරණය නියෝග කරනු ලැබුවා.
ශිෂ්‍යාවට අතවර කළ සැකකාර ශිෂ්‍යයන් අතර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු වන ඖෂධහල් හිමිකරුවකුගේ පුත්‍රයන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසනවා.
අතවරයට ලක්වූ ශිෂ්‍යයාව එම ව්‍යාපාරිකයාගේ සොහොයුරියගේ දියණිය බවද විමර්ශනවලදී අනාවරණය වුණා.
ඒ අනුව මෙම ශිෂ්‍යාව තම ඥාති සොහොයුරන් දෙදෙනකු අතින් ද අතවරයට ලක්වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊට අමතරව ගුරුවරියකගේ සහ කලාප අධ්‍යාපන නිලධාරියකුගේ පුත්‍රයකු ද මෙම ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී සිටිනවා.