ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රතිවාදීන් වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස වෙත විවෘත ආරාධනයක් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩු කරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් අවධාරණය කර සිටියා.
බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හැර වෙනත් විකල්පයක් තිබේනම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන ලෙස ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..
“අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ආරම්භ කළා. රටවල් 18ක් සමඟ සාකච්ඡා කළා. මේ සියලුදෙනා සමඟ එකඟතාවයන් ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව තමයි අද අපි රට මේ තත්ත්වයට ගෙන ආවේ.
අපට අසිරු කාලයක් තිබුණා. රජයේ ආදායම් වැඩි කර ගැනීමට අපිට බදු වැඩි කර ගැනීමට සිදුවුණා. ඒ හමුවේ ජනතාවට එල්ල වූ බර අපි දන්නවා. ඒවා විද දරා ගත් ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. නමුත් ඒ බර ටිකෙන් ටික අඩු කිරීමටත් අප කටයුතු කළා. ජනතාවට සහන ලබාදුන්නා.
අප මේ සහන ලබාදුන්නේ රුපියල ශක්තිමත් කරමිනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව අපට ඉලක්ක තිබෙනවා. අප එම ඉලක්ක අනුව ක්‍රියා කළ යුතුයි.
නමුත් විපක්ෂය සිය මැතිවණ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා බඩු මිල අඩු කරනවා, බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. එවිට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක වෙත ළගා වීමට නොහැකි වෙනවා. එවිට අපට ලැබෙන ආධාර නැති වෙනවා. අපට නැවතත් 2022 ජූලි මාසයේ රට තිබු තත්ත්යට යාමට සිදු වෙනවා. බදු අඩු කරන්න මමත් කැමතියි. නමුත් එය සිදු කළ යුත්තේ රුපියල ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ වෙනුවෙන් වු වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අසීරු වුණත් අප මේ ගමන යා යුතුයි.
අප සියලුදෙනා කැමතියි ජනප්‍රිය තීන්දු ගන්න. නමුත් එය රටේ අනාගතයට සුදුසු නැහැ.
අපි රෑ වැටුණු වළේ දවල් වැටිය යුතු නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු අඩු කරන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා බදු අඩු කරන්න එපා කියලා. නමුත් එතුමා බදු අඩු කළා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබුණේ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම වෙනස් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඔවුන් කිසිවිටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ. මෙය ග්‍රීසියේ සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රිසියේ ආර්ථිකය කඩා වැටුණා. එවන් තත්ත්වයක් ලංකාවේ සිදුවනවාට අප කැමති නැහැ.
අප මෙම ගිවිසුමට අත්සන් තැබු නිසා සෑම මාස 06කට වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් අපට ඩොලර් මිලියන 700ක් පමණ ලැබෙනවා. ජනවාරි මාසය වන තෙක් අපට මේ මුදල් ප්‍රමාණවත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ඔක්තෝබර් මාසයේ නැවත සාකච්ඡා සඳහා පැමිණෙනවා.
එක්සත් ජාතික පක්ෂය ලෙස අප ප්‍රකාශ කරන්නේ අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා කියලයි. නමුත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මෙය සංශෝධනය කරනවා කියලයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන වසර සඳහා අපට ලබා දෙන මුදල් නවත්වනවා. එවිට නැවත අපට පැරණි තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න මාස දෙක තුනක් යනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එය අනුමත කර ගැනීමට තවත් සති 06ක් පමණ ගත වෙනවා. මාස 06ක් අපට මුදල් නැතිව සිටිය හැකිද කියා මම අහනවා.
මම සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා ඔබ මේ බදු අඩු කරනවා නම් ඒ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා. රාජ්‍ය ආදායම් අඩු කරගෙන ඔබ රටේ ආර්ථික ප්‍රශ්නය විසදන්නේ කොහොමද. බොරු කියලා මේ රට විනාශ කරන්න එපා. අපි පක්ෂ 03 එකතුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වමු. ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අහන්න මොකක්ද කරන්නේ කියලා. එම සාකච්ඡාව අපි පටිගත කරලා රටට ඉදිරිපත් කරමු.
ඔබ සිතනවා නම් මෙම ගිවිසුම වෙනස් කරන්න පුළුවන් කියලා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කරන්න. ඔබ එම ඉලක්කවලට අනුව කටයුතු කරනවානම් එම ආදායම් උපයාගන්නේ කසේද කියා ප්‍රකාශ කරන්න. මේ ප්‍රශ්න දෙකට කරුණාකර පිළිතුරු ලබා දෙන්න. ඔබට සැලැස්මක් තිබෙනවා නම් එය රටට කියන්න. බොරු කියන්න එපා. පක්ෂ 03ම එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එම සාකච්ඡාව රටට ඉදිරිපත් කරමු. එවිට ජනතාවට පුළුවන් සත්‍ය අසත්‍යතාවය දැනගන්න. ඊට පස්සේ රටේ කවුරුත් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ලකුණු කරනවා.”