2025 වසරේ සිට ඔස්ට්‍රේලියාව ට පැමිණෙන ජ්‍යාත්‍යන්තර සිසුන් සීමා කරන බව ඕස්ට්‍රේලියානු රජය පසුගිය අඟහරුවාදා තීරණය කළා.
ඒ අනුව එම තීරණය සමඟ 2025 වසරේදී එරට අධ්‍යාපන අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 270,000 දක්වා සීමා කිරීමට නියමිතයි.
වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන ආයතනවලට පැනවෙන විශාලතම කප්පාදුව මෙය විය හැකි අතර, සෑම උසස් අධ්‍යාපන ආයතනයකට ම වෙන වෙන ම සීමාවක් පනවනු ඇති බව එරට රජය නිවේදනය කර තිබුණා.
මෙම නව නීතිය රටේ විශ්වවිද්‍යාල සහ එරටට පැමිණීමට බලා සිටින ජ්‍යාත්‍යන්තර සිසුන්ගේ කළ කිරීමට තුඩු දී තිබෙන අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඊට එරෙහිව දැක්වූ විරෝධය හමුවේ එය හකුළා ගනු ඇති බවට වාර්තා පළ වුණා.
කෙසේ වෙතත් එරට අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් අවධාරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සීමා කිරීමට ගත් තීරණය කිසිසේත් ආපසු නොහරවන බවයි. විදේශීය සිසුන් සීමා කිරීමට රජය මැදිහත් වීම පිළිබඳ තමා සමාව නොගන්නා බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය මෙම පියවර ගනු ලැබුවේ ජාත්‍යන්තර සංක්‍රමණ මට්ටම කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට පත් කිරීමේ සැලසුමක් ලෙසයි.
ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් පැනවූ මෙම නව සීමාව පිළිබඳව පිළිබඳ කලකිරීමට පත්වන බවට ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය විශ්ව විද්‍යාල කිහිපයක්ම ප්‍රකාශ කර තිබුණා.
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ (UNSW) ප්‍රකාශකයෙකු පැවසුවේ ෆෙඩරල් රජයේ මෙම පියවර ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයක් ඇති ඔස්ට්‍රේලියාවේ කීර්ති නාමයට හානියක් වන බවයි.
ෆෙඩරල් රජය විසින් ගෙන එන ක්‍රමවේදය පිළිබඳ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල දැඩි කලකිරීමට පත්ව ඇති අතර වීසා සම්බන්ධ ගැටළු නිවැරදි කිරීමේ උත්සාහයට සහාය තමන් සහාය දුන්න ද ශිෂ්‍ය කප්පාදුව පිළිතුර නොවන බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.
යෝජිත කප්පාදුව මගින් මෙරට ආර්ථිකයට, ජාත්‍යන්තර මට්ටමේ ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන අංශයට සහ ඔස්ට්‍රේලියාවේ කීර්ති නාමයට සැලකිය යුතු ලෙස හානි සිදුවනු ඇති බවට ද අධ්‍යාපන විශේෂඥන් පෙන්වා දෙනවා.
2024 වසරේ නවතම සංඛ්‍යා දත්ත අනුව, ඔස්ට්‍රේලියාව තුළ ජාත්‍යන්තර සිසු සිසුවියන් 717,500ක් පමණ අධ්‍යාපනය හදාරන බව අනාවරණය කෙරුණා.
මේ අතර කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාව විදේශීය සිසු සිසුවියන් ඔවුන්ගේ මව් රටවලට යවා දැඩි දේශසීමා පාලනයක් හඳුන්වා දුන් අතර, එහෙයින්, උසස් අධ්‍යාපනයට දැඩි පහරක් එල්ල වූ බව එරට අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලවල වර්තමානයේ ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව Covid-19 වසංගතයට පෙර සිටි සංඛ්‍යාවට වඩා 10%කින් වැඩි වී ඇති අතර, පෞද්ගලික වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු සපයන්නන් 50% කින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කරනවා.
“ශිෂ්‍යයන් ආපසු පැමිණ තිබෙනවා, ඒත්, සැකකටයුතු ව්‍යාපාරවල නිරත වෙන අයත් ඉන්නවා – මිනිසුන් ඉක්මන් මුදලක් උපයා ගැනීම සඳහා මෙම ක්ෂේත්‍රය අයුතු විදිහට පාවිච්චි කරන්න උත්සහ කරනවා” ක්ලෙයාර් සඳහන් කළා.
භාෂා කුසලතා නොමැති සිසුන් බඳවා ගැනීම, දුර්වල අධ්‍යාපන දැනට පවතින නිවාස හා යටිතල පහසුකම් ගැටලු තවත් තීව්‍ර කර ඇති ඔස්ට්‍රේලියාවේ වාර්තාගත සංක්‍රමණ මට්ටම්වලට විසඳුම් ලබාදීමට ද මෙම සීමා කිරීම් උපකාරී වනු ඇති බවයි රජය විශ්වාස කරන්නේ
රජය දැනටමත් ජාත්‍යන්තර සිසුන් සඳහා අවම ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා දැඩි කර ඇති අතර, දෙවන වරට අධ්‍යයන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නන් පිළිබඳව වැඩි පරීක්ෂාවකට ලක් කරන ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නව නීති අනුව 2025 වසරේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වෙළඳපොළේ සිදුවන වෙනස්කම්

2025 වසරේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සංඛ්‍යාව 145,000 දක්වා නැවත සකස් කෙරෙනු ඇති අතර, එය ඔවුන්ගේ 2023 මට්ටමට ආසන්න අගයක් බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල නොවන උසස් අධ්‍යාපනය සපයන ආයතන සඳහා ජාත්‍යන්තර සිසුන් 30,000ක් අලුතින් බඳවා ගැනීමට හැකි වන අතර, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතන සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව 95,000කට සීමා වෙනවා.
ජාත්‍යන්තර සිසුන් සඳහා නිවාස ඉදිකිරීම වැඩි කිරීමට විශ්වවිද්‍යාල සඳහා දිරිගැන්වීම් ද මෙම ප්‍රතිපත්තියට ඇතුළත්.
ජාත්‍යන්තර අධ්‍යාපනය 2022-23 වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4ක (පවුම් බිලියන 18.7, ඩොලර් 24.7) ආදායමක් ගෙන දුන් අතර එය එම වසරේ රටේ සිව් වන විශාලතම අපනයන ආදායමයි.
ශ්‍රී ලාංකික සිසුන්ට මොකද වෙන්නේ

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදෙස් සිසු සිසුවියන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයින් නියෝජනය කරන හෙයින් මෙම තීරණය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ඍජුව ම බලපානු ලබයි.
2022-23 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලාංකිකයින් 13,334 දෙනෙකු තාවකාලික ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට ගොස් ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
එම වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා ඔස්ට්‍රේලියාව නිකුත් කළ සමස්ත තාවකාලික වීසා සංඛ්‍යාවට සාපේක්ෂව එහි ප්‍රතිශතය 19% ඉක්මවයි.
මේ අතර, 2021-22 වසරේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තාවකාලික ශිෂ්‍ය වීසා 5,528ක් නිකුත් කර ඇති අතර, ඒ අනුව, පසුගිය වසරේදී ශිෂ්‍ය වීසා නිකුත් කිරීම දෙගුණයකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව 2022 ජූනි මාසයේදී කරන ලද සංගණනය අනුව එරට වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සංඛ්‍යාව 145,430 දෙනෙකි.
ඉන්, 52%ක් පුරුෂයින් වන අතර 48%ක් කාන්තාවන් ය.
ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩි ම සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් අතර 11 වන ස්ථානයේ පසු වෙයි.
කෙසේ වෙතත් නව නීති අනුව ඉදිරියේ දී එම ප්‍රමාණය අඩු විය හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.