මාස දෙකක් සැලසුම් කර පියාගේ තුරුළේ නිදා සිටි සිඟිත්තිය පැහැරගෙන..


සිය පියාගේ තුරුලේ නිදා සිටි 5 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කිරීමට තැත්කළ 17 හැවිරිදි තරුණයෙකු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවා කෙරෙහි ඇතිවූ දැඩි ආශාවක් හේතුවෙන් ඇයව අපයෝජනය කිරීම සඳහා පැහැර ගෙන ගිය බවයි සැකකරු පාපෝච්චාරණය කර තිබෙන්නේ.

ඉකුත් 22 වනදා මෙම සිදුවීම වාර්තා වුණේ පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ නිවසකින්.

රෝගී තත්ත්වයක් නිසා එදින දැරියගේ මව වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර දැරිය පියා සමග නිදාසිට ඇත්තේ නිවසේ සාලයේ තිබූ ඇඳක් මතය. 

රාත්‍රි 11.45 පමණ මව නානකාමරයට යන අවස්ථාව වනවිටත් දැරිය පියාගේ තුරුලේ නිදාසිටින අයුරු ඇය නිරීක්ෂණය කර කළ බව මව පවසා තිබෙනවා.

කෙසේවෙතත් ඇය යළි කාමරයට ගිය පසුව ඇයට යම් ශබ්දයක් ඇසී ඇත.

දියණියගේ මව,

“ප්ලාස්ටික් පුටුවක් සෙලවෙනවා ශබ්දයක් ඇහුණා. අම්මා කෑ ගහුවා දරුවා නැහැ කියලා. ජනේලයේ රෙද්ද ඈත්වෙලා තිබුණා. මම හිතුවා කවුරුහරි දරුවා අරන් ගිහින් කියලා.”

දියණියගේ පියා,

“මමයි දුවයි නිදාගෙන හිටියේ. බබා නැහැ කියලා කෑ ගහද්දි මට ඇහුණේ. මම කුස්සියට ගිහින් බැලුවා දුව නැහැ. අම්මයි නෝනයි කෑ ගැහුවා. මම එළියට බැස්සා… ඊට පස්සේ වෙල ළඟ හිටපු දුවව මම අරන් ආවා.”

නිවසේ අනාරක්ෂිත ඡනේලයකින් දැරියව පැහැරගෙන ගොස් ඇති බව පසුව සොයා ගැනුණු බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් පසු සොයාගත් සෙරෙප්පුවක් ඔස්සේ විමර්ශන ඇරඹූ පොලීසියට සැකකරු පිළිබඳ තොරතුරු හෙළි කරගැනීමට හැකිවී තිබුණා.

එම සෙරෙප්පුව ඔස්සේ සිදුකළ විමර්ශන අනුව දැරියගේ නිවසට මීටර් 400ක් පමණ දුරින් වු නිවන්තිඩිය  සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ වෙල්යායේ වැටී තිබූ සෙරෙප්පුව සැකකරුගේ මවට පෙන්වීමෙන් අනතුරුව ඇය එය තම පුතාට අයත් බවට තහවුරු කිරීමෙන් පසුවය.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ මාස දෙකකට පමණ ආසන්න කාලයක සිට දැරිය ගැන තමාට ඇතිවූ දැඩි කැමැත්ත මත ඇයව අපයෝජනය කිරීම සඳහා පැහැරගෙන ගිය බවයි.

සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී අනාවරණ වී ඇත්තේ දැරිය කිසිඳු අතවරයකට ලක්වී නොමැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!