අන්තිමට තරඟයේ වීරයා වුණේ ධම්මික පෙරේරා..

හොඳම තරඟයකට පස්සෙ පරාජිතයෝ නොපෙනී යන්න පුළුවන්. මොකද හැමෝම හුරේ දාන්නේ ජයග්‍රාහකයාටනේ.

මෙවර ජනාධිපතිවරණයේ තමන්ගෙ නිජ බිමවත් පරිස්සම් කර ගන්න බැරිවුණ දිස්ත්‍රික්කයවත් ආරක්ෂා කරගන්න බැරිවුණ අපේක්ෂකයා තමයි නාමල් රාජපක්ෂ කියන්නේ.

රාජපක්ෂ රාජධානිය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන හම්බන්තොට දිස්ත්‍රිකය ජයග්‍රහණය කරන අනුර කුමාර දිසානායක ඡන්ද 221,913 ලබා ගන්නකොට, සජිත් ප්‍රේමදාස 131,503 ගන්නකොට, රනිල් වික්‍රමසිංහ 33,217 ක් ගන්නකොට තමන්ගේ නිජ බිමෙන් නාමල්ට හිමිවුණේ ඡන්ද 26,707 ක් විතරයි. 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට දින්නේ 278,804කින්.

ඒ වගේම නාමල්ට මුළු රටෙන්ම ගන්න පුළුවන් වුණේ ඡන්ද ලක්ෂ 342,781යි. එය ප්‍රතිශතයක් ලෙස 2.57 ක්.

ඡන්ද 69 ලක්ෂයක පදනමක් තිබුණු පක්ෂයක් ඡන්ද ලක්ෂ 5 ක් ලබා ගන්න බැරි මට්ටම්ට ගෙනාව පරාජයක් කියන්නේ නිකන්ම නිකන් පරාජයක් නෙවෙයි කුල්ල කුජීත වර්ගයේ පරාජයකි. 

ඕන නම් මෙහෙම සාධාරණීකරණය කරගන්න පුළුවන්. මොනව වුණත් අන්තිමට මං පක්ෂය වෙනුවෙන් බෙල්ල තිබ්බනේ කියලා.

ඇත්තටම නාමල් රාජපක්ෂ මේ ජනාධිපතිවරණයේ දී ඇන්දේ විහාරමහා දේවියට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් අවංකවම මේ ජනාධිපතිවරණයට නාමල්ව දාන්න ඕන වුණේ නැති වෙන්න ඇති. ඒක නාමල් කියන දේශපාලන පොහොට්ටුව පිපෙන්න පෙරම පර කිරීමක් කියලා තාත්තලා, බාප්පලා ,මහප්පලා නොදන්න එයාලා දේශපාලන තොත්ත බබාලා නෙවෙයිනේ.

2024 ජනාධිපතිවරණය කියන මහ මුහුද ගොඩට ගලනකොට පොහොට්ටුව කල් තියා සූදානම් කරගෙන හිටිය විහාර මහා දේවිය තමයි ධම්මික පෙරේරා කියන්නේ. ඡන්දය ප්‍රකාශයට පත් කරලා පොහොට්ටුවේ අපේක්ෂකයා නිල වශයෙන් දැනුම් දෙනකල්ම ධම්මික හිටියේ රට බේරා ගන්න මහමුහුදට පනිනවා කියන ෆුල් අධිෂ්ඨානයෙන්.

ඒත් පූරුවෙ පිනකට වගේම සහජ ව්‍යාපාරික විඥානය පාවිච්චි කරලා තක්කෙටම කළ ගණන් හැදීම්වලට පින්සිද්ධ වෙන්න ධම්මිකට තේරුණා මුහුදට පැන්නොත් ආයේ වෙරළට ගොඩගහන්නේ ඇපත් නැතිව කියලා.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයාව එළියට දාන්න ඔන්න මෙන්න ධම්මික පෙරේරා බෑ කිව්වම බැසිල්ලට සාගරලාට වැලේ වැල් නැතිවුණා. නාමල්ට සිද්ධවුණා ඒ වෙලාවේ පක්ෂය අටවල තිව්ව දිරච්ච වැලක එල්ලිලා ටාසන් වගේ ලෝටස් පාරේ පක්ෂ කාර්යාලය මැද්දට ගොඩ බහින්න. විහාර මහා දේවිය වෙලා මුහුදට පනින්න. ඒක දේශපාලනිකව සිය දිවි නසා ගත්තා වගේ වැඩක්. ඕන නම් තව චුට්ටක් සතුටු වෙන්න පුළුවන් රනිල්ගෙන් පක්ෂෙ බේරා ගත්‍තා කියලා.

අරගලයෙන් පස්සෙ රටේ වාතාවරණය සමනය කරගන්න රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය පරිත්‍යාග කළත් පොදු ජන පෙරමුණ තවත් ධුර කාලයක් සඳහා රනිල්ට පක්ෂය භාර දෙන්න සූදානම් වුණේ නැහැ.

කෝටිපති ධම්මික පොදු ජන පෙරමුණේ විකල්පය වුණේ නාමල්ට දීලත් බැරි රනිල්ට දෙන්නත් බැරි ඒ රික්තයට හොඳම විකල්ප තේරීම වුණ නිසා.

ඔහු ගේන එක පොහොට්ටුවට හැම පැත්තකින්ම වාසියි. ධම්මික පැරදුණත් ඔවුන්ගේ කඳවුර බේරිලා. පරාජයේ වගකීම යන්නෙ ධම්මිකගේ එකවුන්ට් එකට. ජනාධිපතිවරණයකට වැයවෙන අතිවිශාල මුදල් සම්භාරය බැර වෙන්නෙත් ධම්මිකගෙ එකවුන්ට් එකට.

ධම්මිකගේ ශූර ව්‍යාපාරික ඥානය හා සීරෝ රිස්ක් (Zero Risk) තියරිය

ධම්මික මේක දිහා බැලුවේ බිස්නස් ඈන්ගල් එකෙන්. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙම 51% ක් ගන්න පුළුවන් නම් විතරයි කියලා මුල ඉඳලාම කිව්වා. ඒත් පොහොට්ටුවෙ බහුතරය රනිල් වික්‍රමසිංහගේ පැත්තට හැරුණම ඔහුට ඒ බලාපොරොත්තුව නැතුව ගියා.

ඔහු ඒ මොහොතේම තීරණය කරනවා. නොදන්න ජනාධිපති දෙයියට වඩා හම්බ කරගත්ත රුපියල් ශත පරිස්සම් කර ගන්න.

දවස් කීපයකට කලින් යූ ටියුබ් චැනල් එකකට ඔහු කියනවා මෙහෙම, ” 35% ක් අරන් පරාජය වෙන්න මම මගේ සල්ලි වියදම් කරගෙන රටට සේවය කරන්න එන්නෙ මොකටද? ජනතාවට ඕන නම් මාව පත් කරගනී” 

තමන්ගේ සේප්පු හොල්ලගෙන ජනතා සේවය කරන්න ධම්මිකට ඕන නැහැ. හොඳට ගණන් හදලා රිස්ක් එක සීරෝ (0%) වෙන වැඩවලට විතරයි ධම්මිකලා අත තියන්නෙ. ඒ හින්දා පොහොට්ටුවේ දිරච්ච ලණුවෙ එල්ලෙන්නෙ නැතිව බේරෙන්න ශූර ව්‍යාපාරිකයකු වුණු ධම්මිකට පුළුවන් වුණා. ඇත්තටම ඒකෙන් මේ කෝටිපති ව්‍යාපාරිකයා පැරදිච්ච ජනාධිපති අපේක්ෂකයෙක් විදියට හංවඩු නොගැහි බේරුණා වගේම ඔහුගේ ධනයෙන් සැලකිය යුතු ධනස්කන්දයකුත් ඉතුරු කරගත්තා. සරත් ෆොන්සේකලා වගේ දේශපාලන ලෝකෙන් අතුගෑවිලා යන්නේ නැතුව තව වාරයක් Save කර ගත්තා. නැත්නම් තව පොඩ්ඩෙන් ඔහුටත් වෙන්නේ ASP මුදලාලි වගේ විහිළු කාරයෙක් වෙන්න. මහ පොළොවේ තත්ත්වය තේරුම් ගත්ත එකම විශිෂ්ඨ තීරණයක්.

නාමල්ගේ ජනාධිපති ළදරු වලිප්පුව

පරාජය ඇස් පනා පිටම පෙණුන මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ අසරණකමට වුණත් ජනාධිපතිකම කියන ළදරු වලිප්පුව නාමල්ට වැළඳුණේ අද ඊයෙක නෙවෙයි. මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන අනාගතයේ තිර පිටපත ලිව්වෙම ඔහුගෙන් පස්සෙ ඔටුන්න නාමල් කුමාරයගේ ඔලුවටම වැටෙන විදියට.

ඒත් භූමියේ යථාර්ථය, ඒ ෆැන්‍ටසි තිර පිටපතට ගැලපුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂගෙන් පස්සෙ රාජපක්ෂ පවුලට තිබුණ අන්තිම කැමැත්තත් අතුගෑවිලා ගියා. කුමාරයාට තව ගොඩක් බලන් ඉන්න වෙනවා කියන එක එයාලා තේරුම් අරන් තිබුණේ. මහින්ද මීඩියාවලට වුණත් කිව්වේ අපෝ දැන්ම එයාව දාන්නෙ නෑ කියල. මහින්දගේ පැසුණු දේශපාලන බුද්ධියට නොපේන්න විදියක් නැහැනේ නියමිත කාලයට පෙර මාකට් එකට බඩු දැම්මම වෙන දේ.

ඒ නිසා අන්තිමට නාමල් ජනපති පොරේට උඩින් වැටුණේ හෙණ ගහනකොට එළියට විසි කරපු අලවංගුවක් වගේ. බාගදා හිතන්න ඇති දිනුවත් පැරදුණත් විපක්ෂ බලවේගයක් විදියට ගොඩනැගෙන්න හොඳ අවස්ථාවක් කියලා.

පරාජිත කැටගරි එක ඇතුළට ලේබල් වුණාම අපේ වගේ රටවල දිනන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒකට හොඳම උදාහරණය 1994 ඉඳලා තරග කරන රනිල්. 2019 ඉඳලා තාමත් දිනන්න බැරිවුණු සජිත්. අනුර කුමාර දිසානායක දිනනවා තමයි. ඒක කාලාන්තරයක් තිස්සේ වුණු විශාල දේශපාලන පරිවර්තනයක එක මොහොතක් විතරයි. දේශපාලනය කියලා රටක් අනුභව කළ නායකයෙක්ට එහෙම ලේසියෙන් ඔළුව උස්සන්න ලැබෙන්නේ නෑ මේ වාතාවරණය ඇතුළේ. දේශපාලන සාක්ක්ෂරතාවය වුණත් එන්න එන්නම වැඩිවෙනකොට හිතන හිතන ගේම් ගහන්න නාමල්ට තියා සක්කරයගේ පුතා වයිමටවත් බෑ කියන එක ඉගෙනගන්න ඕන කෙනෙකුට ඊයේ පෙරේදා අවසන් වුණු ජනාධිපතිවරණය කියන්නේ හොඳ තක්සලාවක්.

අන්තිමට නාමල්ට සිද්ධ වුණේ පිපෙනකොටම පරවෙන්න. පොහොට්ටුව ගැහුවේ ගේමක් නම්, ධම්මික තමයි හොඳටම කළේ.ඔහු තමයි තරගයේ වීරයා…

සුබා

Latest News

More like this

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...

ජනප්‍රිය දකුණු කොරියානු නිළිය සමුගනී

දකුණු කොරියානු නිළි ලී සියෝ-යි (Lee Seo-yi) වයස අවුරුදු...
error: Content is protected !!