තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රියක් අනතුරකට ලක් වී ගිනි ගැනීමෙන් ළමුන් 20 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
රටේ උතුරු ප්‍රදේශයක සංචාරයක් සඳහා රැගෙන ගිය දරුවන් නැවත අගනුවර දක්වා රැගෙන එන අතරතුර බස් රථය මෙම බිහිසුණු අනතුරට මුහුණ දී තිබෙනවා.
එම ස්ථානයේ සිට නිකුත් වූ වීඩියෝ දර්ශනවල අහසට විහිදෙන විශාල කළු පැහැති දුමාරයක් සහ ගින්නෙන් බස් රථයේ විශාල ප්‍රමාණයක් පිළිස්සී ඇති ආකාරය පෙන්නුම් කරනවා.
එරට ප්‍රවාහන අමාත්‍ය Suriyahe Juangroongruangkit පැවසුවේ බස් රථය “අතිශයින්ම අවදානම් සහිත” සම්පීඩිත ස්වභාවික වායු ඉන්ධනයකින් බලගන්වා ඇති බවයි.
ඉදිරිපස ටයරයක් පුපුරා යාමෙන් පසු බැංකොක් නගරයට උතුරින් අධිවේගී මාර්ගය බෙදා වෙන් කරන කොන්ක්‍රීට් තාප්පයක බස් රථය ගැටුණු බවයි අනතුර ඇසින් දුටුවන් පවසන්නේ.
දැඩි ගින්නකින් බසය ඉක්මනින් දැවී ගිය අතර එහි සිටි බොහෝ දෙනෙකුට පිටතට යාමට නොහැකි වූ බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් ගින්නට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නැහැ.
ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඉන් දහසය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර හමු වූ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර තරමට දරුණු ලෙස පිළිස්සී ඇති බවත් ඉන් බහුතරය කුඩා සිරුරු බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.
