කන්‍යාපටලය අහිමි වෙයි… යෝනිමාර්ගය තුළ අතුරුදන් වේයැයි සිතා තවමත් ‘ටැම්පන්’ වලට බයයිද?

මසකට වරක් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට මුහුණ දෙන්න වෙන අමාරුම දවස් කීපය උදාවෙන්නේ ආ‍ර්තවය නැත්නම් මාසික ඔසප් වීම කියන ක්‍රියාවලිය තුළදීය.

එම කාල සීමාව තුළ යෝනි මාර්ගයෙන් පිටවන රුධිරය පාලනය කිරීම කිසිසේත්ම සිදු කළ නොහැකක් වන අතර අනාදිමත් කාලයක සිට ගැහැණිය එය බැහැර කිරීමට විවිධ ක්‍රම අත් හදා බැලුවාය.

ඒ අනුව වර්තමාන කාන්තාවන් අතර ඒ සඳහා ජනප්‍රියම ක්‍රමවේදය වන්නේ සනීපාරක්ෂක තුවා නමුත් ඊට වඩා දියුණු උපක්‍රම ගණනාවක් මේවන විට නිර්මාණය වී තියෙනවා. ඒවා සනීපාරක්ෂක තුවාවලට වඩා බොහෝ පහසු ක්‍රම නමුත් තවමත් අපේ කාන්තාවන් භාවිත කරන බව පෙනෙන්නට නැහැ. ඊට බොහෝ විට හේතු වී ඇත්තේ එම ක්‍රම්වේදයන් පිළිබඳ නොවිසඳුණු ගැටලුය.

මේ කියන්න යන්නේ සනීපාරක්ෂක තුවාවලට වඩා දියුණු ක්‍රමවේදයක් නමුත් විවිධ මත නිසා තවමත් ලාංකික කාන්තාවන් අත් හදාබැලීමට එතරම් මනාපයල් නැති ටැම්පන් (Tampon) පිළිබඳවයි.

ටැම්පන් යනු කුඩා සිලින්ඩර හැඩැති ඔසප් වීමේදී යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් රුධිරය සහ යෝනි ස්‍රාවයන් අවශෝෂණය කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති ඔසප් නිෂ්පාදනයකි.

එය සනීපාරක්ෂක තුවා මෙන් බාහිරෙන් භාවිත කරන්නක් නොව, අභ්‍යන්තරව, යෝනි මාර්ගය ඇතුළත තබා ගන්නා ක්‍රමවේදයකි.

ඒවා මෘදු, අධික ලෙස අවශෝෂක කපු හෝ රේයෝන් මත පදනම් වූ ද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කෙරේ. සනීපාරක්ෂක තුවා මෙන්, ටැම්පන් එක් වරක් භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කරන්නක් වන අතර පසුව නිසි ලෙස බැහැර කළ යුතුය.

ටැම්පන් පිලිබඳ කාන්තාවන් අතර පවතින තවමත් නොවිසඳුණු රහස් කිහිපයක් මෙසේය.

ටැම්පොන් භාවිතා කිරීම අනාරක්ෂිතද?
නැහැ. මෙය ටැම්පන් පිළිබඳ පවතින එක් මිත්‍යා මතයක් පමණි. ටැම්පන් යනු සාමාන්‍යයෙන් ආරක්ෂිත ලෙස සලකනු ලබන්නකි. එය එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය (Food and Drug Administration-FDA) විසින් වෛද්‍ය උපකරණයක් ලෙස නියාමනය කරනු ලැබූවකි.

එහෙත් නැවත භාවිත කළ හැකි ආකාරයෙන් සකස් කරනු ලැබූ ටැම්පන් වර්ග එම අධිකාරිය අනුමත කරන්නෙ නැහැ. සියලුම ටැම්පන් වර්ග වරක් භාවිතයෙන් පසු අනිවාර්යයෙන් බැහැර කළයුතු බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ටැම්පන් භාවිත කළ හැකි කාලය කොපමණද?
මේ පිළිබඳව කාන්තාවන් අතර විවිධ මත පවතී. එහෙත් එය රඳා පවතින්නේ ඔසප් වීමේදී රුධිරය පිටවීමේ ස්වභාවය හා එය අවශෝෂණය කරන ආකාරය අනුවයි. තමාගේ ඔසප් ගලායාම අනුව පැය 4-8 කාලය තුළ ටැම්පන් මාරු කළ හැකිය.

ටැම්පන්වලින් රුධිරය කාන්දු වීමේ ඉඩක් ඇත ඇතිද?
මෙය බලපාන්නේ ටැම්පනයට දරාගත නොහැකි තරම් රුධිරය අවශෝෂණය කරගත් විට පමණි. සාමාන්‍ය සනීපාරක්ෂක තුවාවලට වඩා වැඩි කාලයක් රුධිරය අවශෝෂණය කරගත හැකි වුවත් එය බැහැර කළ යුතු වෙලාව පිළිබඳ ස්වයං පරීක්ෂාවක් තිබිය යුතුය. මුලින්ම භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීමෙන් පසු කෙටි කලකින් එය බැහැර කිරීම පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තමාටම ඇති කරගත හැකිය.

ටැම්පන්වල විෂ සහිත රසායනික ද්‍රව්‍ය තිබේ ද?
අනෙකුත් බොහෝ පාරිභෝගික නිෂ්පාදන මෙන්ම, ටැම්පන් ද ආරක්ෂාව සහතික කිරීම සඳහා නියාමන පරීක්ෂණ වලට භාජනය වේ.

ටැම්පන් භාවිතයෙන් කන්‍යාපටලයට හානි සිදු වේද?
විවාහයට පෙර හා නව යොවුන් වියේ ගැහැණු ළමයින්ගේ ටැම්පන් පිළිබඳ බියට ප්‍රධානම හේතුව එයින් කන්‍යා පටලයට හානි සිදු විය හැකි බවට ඇති බියයි. මෙය විවාද සම්පන්නය. අප මේ පිළිබඳ කළ සොයා බැලීම්වලදී බොහෝ මූලාශ්‍ර පෙන්වා දී ඇත්තේ ටැම්පන්වලට කන්‍යා පටලයට හානි සිදු කළනොහැකි බවයි. එහෙත් කන්‍යා භාවය පිළිබඳ කළ ඇතැම් අධ්‍යයනයන්වලදී කිසිදු ලිංගික හැසිරීමකින් තොරව කන්‍යාභාවය අහිමි වූ තරුණියන් හමුවූ අවස්ථාවල ඔවුන් ටැම්පන් භාවිත කිරීම එයට හේතුව ලෙස දැක්වූවත් එම ප්‍රකාශ පිළිබඳ වෙනමම අධ්‍යනයන් සිදු කර නොමැති බැවින් තහවුරු වී නැහැ. කෙසේ වෙතත් විවාහයට පෙර නවයොවුන් වියේ දැරියන් ටැම්පන් භාවිත කිරීමට සිතනවා නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගෙන එයට යොමු විය යුතු බව අපේ විශ්වාසයයි.

ටැම්පන් යෝනි මාර්ගය තුළ අතුරුදන් විය හැකියිද?
නැහැ, ටැම්පන් යෝනි මාර්ගය තුළ නැති වෙන්න බැහැ. යෝනි මාර්ගය ආසන්න වශයෙන් අඟල් 3 සිට 4 දක්වා වූ සංවෘත මාංශ පේශී කලාපයකි. යෝනි මාර්ගය අවසානයේ පිහිටා ඇති ගැබ්ගෙල, වස්තූන් ගර්භාෂයට ඇතුල් වීම වළක්වයි. ගැබ් ගෙලෙහි අවසානයේ ඇත්තේ රුධිරය හෝ ශුක්‍රාණු පිටවීම සඳහා කුඩා විවරයක් පමණි. එමෙන්ම ටැම්පන් යෝනි මාර්ගයෙන් පිටතට විහිදෙන නුලකින් බද්ධ වූවකි. යම් අපහසුවක් දැනෙන්නෙ නම් ප්‍රවේශමෙන් ඉවතට ඇද දැමීමට හැකියාව පවතී.

ටැම්පන් යෝනිය තුළ ඇති විට එය දැනෙනවාද?
කොහෙත්ම නැහැ. එය පැළඳීම මුලින් තරමක් වේදනාකාරී සහ අපහසු වුවත් එයට හුරු වූ විට සනීපාරක්ෂක තුවායක් ඇඳ සිටින විට දැනෙන අපහසුව කිසිසේත් දැනෙන්නෙ නැහැ.

ටැම්පන් බිමට “වැටීමට” හැකියිද?
සාමාන්‍යයෙන් එය එසේ සිදු නොවේ. ටැම්පන් නිසියාකාරව ඇතුළු කළ විට (ප්‍රමාණවත් තරම් දුරට) දුවමින් හෝ ක්‍රියාශීලී යමක් කරමින් සිටියද, යෝනි මාර්ගය ස්වභාවිකවම ටැම්පන් එම ස්ථානයේ රඳවා තබා ගනී. මලපහ කිරීමේදී තද තෙරපුමක් දුන්නොත් පමණක්, එය ගැලවී යා හැකිය.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!