2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කරනු ලැබුවා.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුණා.
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාධිකරණය හමුවේ සලකා බැලුණේ ඉකුත් 12 වැනිදාය.
එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ අභියාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවයි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.
රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වාදුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟහරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කරනු ලැබුවා. මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳවැටීමටද හේතුවන බවත් විනිසුරු මඩුල්ල අවධාරණය කර සිටියා.
පහළ අධිකරණ වලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බව සඳහන් කළා.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා, එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවයි කියා සිටියේ.
සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනීනොයන හෙයින්, ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තියෙනවා.
සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.