90 දශකය බොලිවුඩය තනිකරම කටකතා ලෝකයකි. සිනමා කර්මාන්තය මුළුමනින්ම සංවේදී මාතෘකා, ඕපාදූප සහ ගැටුම් ආරවුල් වලින් පිරී තිබුණු කාලයකි. ඒ කාල සීමාවේ වැඩිම කතාබහට ලක් වුණු තුන් කෝණී ප්‍රේමයක් පැවතුණා. එම කාලවකවානුවේ නැගී ආ තරු බවට පත් වුණු මනීෂා කොයිරාල හා අයිශ්වර්යා රායි එම කතාවල ප්‍රධාන ලක්ෂය වූ අතර එයට ඇඳුනු අනිත් නම නිරූපන ශිල්පී රජිව් මුල්චන්දානිය.
රජිව් මුල්චන්දානි යනු මනීෂා කොයිරාලගේ පෙම්වතාය. මනීෂා සහ රජීව් මුල්චන්දානිගේ ප්‍රේමය අතරට අයිශ්වර්යා කඩන් වැටුණේ මනීෂා ඇති කරගන්නා ප්‍රබල සැකයක් මතය. මනීෂා සිය පෙම්වතා වන රජීව් විසින් අයිශ්වර්යාට ලියන ලිපි පිළිබඳ සඳහන් කරමින් ඔවුන් අතර අනියම් සම්බන්ධතාවක් පවතින බවට චෝදනා එල්ල කර තිබුණා. මෙම පුවත බොලිවුඩය පුරා කම්පන ඇති කළ අතර ඕපාදූප තීරුවල රසවත් මාතෘකාවක් බවට පත් වුණා.
එහෙත් අයිශ්වර්යා එම චෝදනා නිහඬව භාරගත්තේ නැහැ. අයිශ්වර්යා එම වාර්තාවලින් පසු තමා කම්පනයට හා කළකිරීමට පත් වූ බව ප්‍රසිද්ධියේ කියා සිටියා. ඒ වන විට මනීෂා රජීව් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගිය අතර ඔහු අයිශ්වර්යා සමඟ ද සමීපව ඇසුරු කළ බව වාර්තාවල දැක්වුණා. පැරණි සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳ සඳහන් කරමින් අයිශ්, 1995 වසරේ තිරගත වූ බෝම්බේ චිත්‍රපටයෙන් පසු ඇය මනීෂාට බෙහෙවින් ආදරය කළ බවත් ඇයට සුබ පැතීමට මල් කළඹක් සූදානම් කරගෙන සිටි බව සඳහන් කර තිබුණා.
“මම බොම්බේ නරඹා තිබුණා. මනීෂා දක්ෂයි කියලා හිතුවා. ඇයට සුබ පතන්න මම මල් කළඹක් පවා යැවීමට සැලසුම් කරමින් සිටියා. අප්‍රේල් 1 වන දින රජීව් අහම්බෙන් මට කතා කළා. මනීෂාගේ රංගනය කොතරම් අගය කරනවාද කියලා මම ඔහුට උද්යෝගයෙන් කිව්වා. එතකොට තමයි ඔහු හිනා වෙලා මම පත්තර කියවනවාද කියලා ඇහුවේ. මනීෂා ඔහුගෙන් මා වෙත ලැබුණු පෙම් හසුන් පිළිබඳ මට චෝදනා කර ඇති බව මා දැනගත්තේ එවිටයි. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා! ඒක හරිම රළු කම්පනයක්.”
චෝදනා එල්ල වූ කාලය පිළිබඳව ප්‍රශ්ණ කරමින් එය සත්‍යයක් නම් එම චෝදනාව එල්ල කිරීමට තිබුණේ ඔවුන් වෙන්වූ 1994 ජූලි මාසයේදී බව අයිශ්වර්යා කියා සිටියා. රජිව්ගෙන් වෙන්වීමට හේතුව එය නම් එය එළියට දැමීමට මාස නවයක් ගත කළේ ඇයි දැයි ඇය ප්‍රශ්ණ කළා. මනීෂා ඇගේ මුල් කාල සීමාවට එමඟින් දැඩි බලපෑමක් එල්ල කළ බවයි අයිශ්වර්යා පසුකාලීනව සඳහන් කළේ.
“මම පිස්සුවෙන් වගේ ඇඬුවා. මා වටා සිදුවන ඕනෑම දෙයක් ගැන මම ගොඩක් දුක් වුණා.” යැයි අයිශ්වර්යා ඒ පිළිබඳ සඳහන් කරමින් කම්පා සහගතව අදහස් දක්වා තිබුණා. ඇය එසේ තමාව ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වුවද එයින් අයිශ්වර්යාට සිදුවූ හානිය නම් සුළු පටුවුණේ නැහැ. එය හුදෙක් මනීෂාගේ වරදවා වටහා ගැනීමක්ද නැතිනම් එහි ඊට එහා ගිය වෙනත් සැඟවුණු කතාවක් තිබුණාදැයි දන්නේ ඔවුන් තිදෙනාම පමණයි.