එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තවත් ලෝක නායකයින් දුසිම් ගනනක් රෝමයට ගෙන ඒමට නියමිත අවමංගල්‍යය උත්සවයට පෙර කතෝලික බැතිමතුන්ට අවසන් ගෞරව දැක්වීමට ඉඩ සැලසීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය බදාදා (අප්‍රේල් 23) සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරුණා.
පෙරළිකාර ප්‍රතිසංස්කරණවාදියෙකු වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා ස්වර්ගස්ථ වන විට පසු වුණේ 88 වැනි වියේය. වතිකානුව පසුව මරණයට හේතුව ආඝාතය සහ හෘදයාබාධයක් බව තහවුරු කරනු ලැබුවා. එය උන්වහන්සේගේ පාප් පදවියේ කැළඹිලි සහිත වසර 12 ක පාලන සමය අවසන් වීම සනිටුහන් කිරීමයි. උන්වහන්සේ එම කාල සීමාව තුළ සම්ප්‍රදායිකවාදීන් සමඟ නැවත නැවතත් ගැටී දුප්පතුන් සහ ආන්තිකකරණයට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨතමයෙක් ලෙසයි සැලකෙන්නේ.
සෙනසුරාදා (අප්‍රේල් 26 ) පැවැත්වීමට නියමිත අවමංගල්‍ය පූජෝත්සවය තෙක් උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කිරීමට නියමිතය.
යාඥා මෙහෙයක් පැවැත්වීමෙන් අනතුරුව පාප්වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබා දීම සිදු කෙරුණා.
දේහය බැසිලිකාවේ තැන්පත් කිරීමට පෙර අවමංගල්‍ය පෙරහැර මිනිත්තු 40කටත් වඩා පැවති අතර උන්වහන්සේ ස්වර්ගස්ථ වූ කැසා සැන්ටා මාර්ටා සිට සාන්ත පීතර චතුරස්‍රය හරහා දේහය ගෙන යන ආකරය දැක ගැනීමට හා උන්වහන්සේ වෙත ගෞරව දැක්වීමට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.
අප්‍රේල් 26 සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සාන්ත පීතර චතුරශ්‍රයේ අවමංගල්‍යයක් පැවැත්වීමට නියමිත අතර එය කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ විසින් මෙහෙයවනු ලබන බව වතිකානුව නිවේදනය කර තිබෙනවා. පාප් වහන්සේගේ සංකීර්ණ අවමංගල්‍ය චාරිත්‍ර සරල කිරීමට පසුගිය වසරේ දී උන්වහන්සේ ගත් තීන්දුව අනුව ශුද්ධෝත්තමයාණන්ගේ අවසන් කටයුතු ඉතා සරලව සිදු කිරීමට නියමිත බව සඳහන් වෙනවා. ඒ අනුව සියවසකට වැඩි කාලයකට පසු වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් නොකළ පළමු පාප්වහන්සේ ලෙස ද උන්වහන්සේගේ ශ්‍රී නාමය ඉතිහාසයට එක් වීමට නියමිතය.
උන්වහන්සේගේ දේහය මිහිදන් කරනු ලබන්නේ රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ උන්වහන්සේගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසලයි.
පසුගිය වසරේ අවමංගල්‍ය රීතීන් සංශෝධනය කරමින් උන්වහන්සේ ඉල්ලා සිටි පරිදි සරල ලී පෙට්ටියක උන්වහන්සේ තැන්පත් කරනු ඇති.
එළිමහන් දේව මෙහෙයට අවම වශයෙන් 200,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.
ආගමන විගමන සම්බන්ධයෙන් පාප් වහන්සේ සමඟ නැවත නැවතත් ගැටුම් ඇති කරගත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ආර්යා මෙලනියා සමඟ අවමංගල්‍ය පුජෝස්ත්වයට සහභාගී වන බව මේ වන විට නිවේදනය කර ඇථි අතර ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, යුක්රේනය, යුරෝපා සංගම් ආයතන සහ ෆ්‍රැන්සිස්ගේ නිජබිම වන ආර්ජන්ටිනාව යන රටවල නායකයින් ද ඔවුන්ගේ පැමිණීම තහවුරු කර තියෙනවා.