සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා විසින් පසුගිය 14 වැනිදා කොළඹ මහාධිකරණයේ දී හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව කරනු ලැබූ ප්‍රකාශය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවට චෝදනා එල්ල කර තිබෙනවා.
ඒ ටිරාන් අලස්ගේ සමීපතමයෙකු විසිනි.
‘හරක් කටා’ නමැත්තා මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් 2023 මාර්තු 07 දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයට පත් වූයේ ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කරන සමයේය.
2023 නොවැම්බර් මාසයේ 04 වැනිදා “හරක් කටා” සම්බන්ධයෙන් ටිරාන් අලස් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනු ලැබුවා.
ඔහු එහිදී පැවසුවේ හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ඒම වැළැක්වීම සඳහා රුපියල් මිලියන 700ක් ලබා දීමට උත්සාහ කළ බවයි.
“හරක් කටාව ගේනකොට මට මිලියන 700ක් (රුපියල් කෝටි 70ක්) ඔෆර් කෙරුව. මෙහෙට ගේන්නෙ නැතුව ඩුබායිවලට අරින්න කියලා. කොහොමහරි ඒක වැඩිදුර යන්න වුණේ නෑ. ඔෆර් එක දුන්න කෙනා වෙඩි කෑවා”
‘ඒගොල්ලො ලෑස්තියි ලොකු ලොක්කන්ට මිලියන ගණන් හරි දිල මාව ඇමතිකමෙන් අයින් කරන්න”
ටිරාන් පමණක් නොව හරක් කටා විසින් රුපියල් කෝටි 30ක් ඉල්ලු කතාවට සම්බන්ධ කළ අනෙක් තැනැත්තා වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද පාතලය සමඟ ගණුදෙනු කිරීමේ බරපතල කම පිළිබඳ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඔහු එහිදී සඳහන් කළේ “අපරාධකාරයො එක්ක බුදිය ගත්තොත් බල්ලොත් එක්ක බුදිය ගත්ත හා සමානයි. අන්තිමට කෑවෝ කෑවෝ කියල මට පාතාලයෙන් තර්ජන තියෙනව කියලා බොරු පැමිණිලි දානවා”
එදා කුමන හෝ ආකාරයකින් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමට හරක් කටා හෝ ඔහුට සම්බන්ධ පාර්ශවයන් කටයුතු කර තිබුණේ නැහැ.
හරක් කටා නමැත්තා තංගල්ල බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන ආ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු මීට පෙර කිසිදු අවස්ථාවක එය ප්‍රකාශ කිරීමට කටයුතු නොකලේ ඇයි යන්න ගැටලුවක් බවයි ටිරාන්ට සමීප පාර්ශවයන් පෙන්වා දෙන්නේ.
“මිලියන 700 කතාව හිටපු ඇමතිතුමා කිව්වෙ 2023 නොවැම්බර් 04 වැනිදා. දැන් අවුරුදු එකහමාරක් ගත වෙලත් ඒගොල්ලො කවුරුත් ප්‍රතික්ෂේප කරල නෑ”
අනිත් එක මෙයාව තංගල්ලට දාල තියෙන්නෙ ආරක්ෂක ලේකම්ගේ නියෝගයේ පේපර්ස් එක්ක හයි කෝට් එකට දාලා, හයි කෝට් ඕඩර් එකක් උඩ තමයි තංගල්ලෙ ඉන්නෙ. නැතුව හිටපු ඇමතිතුමා දාපු එකක් නෙවෙයි. දැන් තංගල්ලෙ අවුරුද්දක් විතර වෙනවා. ඇමතිතුමා තනතුරුවලින් ගිහිල්ලත් මාස 07ක් වෙනවා. එතකොට එයා ඒ කාලය ඇතුළත් උසාවි ඇවිත් තියෙනව කීප වතාවක්. ඒ එක වතාවක්වත් ඔය කතාව කියල නෑ. ඊයේ වෙනකම්”
හරක් කටාගේ උසාවියෙන් එළියේ රංගනය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අපරාධකරුවෙකු රැගෙන එන්නේ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතවයි. එවැනි පුද්ගලයෙකුට ඒ ආකාරයෙන් විවෘතව ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබෙන්නේ එම සැලසුම අනුවයි.
“ඊයෙ ඒ වීඩියෝ එක බැලුවොත් හොඳට ම පේනවා, PTA එක යටතේ ඉන්න ත්‍රස්තවාදියෙක් තමයි උසාවි ගේන්නෙ. STF අරව මේව ඔක්කොම යොදවල තියෙනව. හැබැයි පඩිපෙළෙන් බහිනකොට හොඳට ම පේනව ඉස්සරහ කවුරුත් නෑ. මෙයාට ෆුල් ඕපන් කරල දෙනව මීඩියා එකට කතා කරන්න. ඉන් එහාට ගිහිල්ල මෙයාව වෑන් එකට දැම්මට පස්සෙ වෑන් එකේ ෂටර් එකත් ඇරල දෙනව මීඩියා එකට කතා කරන්න.”
“එතකොට ඕන ගොනෙකුට තේරෙනව මේක සෙටප් කරල කවුරුහරි මෙයා ලව්ව මේක කියෙව්ව කියල.”
කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රකාශය සම්බනධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර ඇති බව අද (16) මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස් මාධ්‍ය කොට්ඨාශය හෝ වගකිව යුතු කිසිදු පාර්ශවයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
ටිරාන් අලස් යනු පසුගිය රජයේ වැඩක් කළ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවේ මුල් පෙළේ සිටින අමාත්‍යවරයෙකි. ඔහු අපරාධ මැඬලීම සහ පාතාල මර්දනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගනු ලැබූ අමාත්‍යවරයෙකි.
උපුටා ගැනීම – BBC සිංහල සේවය