ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පෙරේදා (මැයි 17) සිට සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
පසුගිය 9 වැනිදා රාත්‍රී 11.30 ත් මධ්‍යම රාත්‍රියත් අතරතුර සේමගේ මහතාගේ නිවසේ ඔහු නිදා සිටි කාමරයට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු වී ඇති ආකාරය නිවසේ CCTV දර්ශනවලින් අනාවරණය වී තිබුණා.
එම අවස්ථාවේ නිවසේ ඔහුගේ බිරිඳ සහ දරුවන්ද නිදාසිට තිබෙනවා.
මහජන සෞඛ්‍ය විශේෂඥයකු වන වෛද්‍ය සේමගේ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වුණේ පසුගිය වසරේ ජනවාරිි මාසයේදීය.
ඔහු මීට පෙරද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ අතර 2021 වසරේ නොවැම්බර් සිට 2002 වසරේ මැයි මාසය දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.
එම අවස්ථාවේ ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇති වූ මත ගැටුමක් හේතුවෙනි.
ඖෂධ ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නැවත වෛද්‍ය සේමගේ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කල් අතර ඖෂධ නියාමන යාන්ත්‍රණය වංචා දූෂණයෙන් තොර කිරීම එම පත්කිරීමේ අරමුණ වුණා.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාධාරණව සිදු නොවීමට හේතු ලෙස හඳුනාගෙන තිබෙන ඖෂධ ඒකාධිකාරිය සහ සීමිත තරගකාරීත්වය බිඳ දැමීම සඳහා වෛද්‍ය සේමගේ මහතාගත් උත්සාහය හේතුවෙන් ඖෂධ කර්මාන්තයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙනවා.
මේ අතර දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන බවට පවසමින් සමාජ මාධ්‍යයෙන් එල්ල වූ මඩ ප්‍රහාරයකට ගොදුරු වීමට ද ඔහුට සිදු වුණා.
තම නිවසට පුද්ගලයන් දෙදෙනෙකු අනවසරයෙන් ඇතුළු වීම ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් තමන් ඉවත් කිරීමට ගත් උත්සාහයක් ලෙස දකින බවයි වෛද්‍ය සේමගේ මහතා පවසන්නේ.
පසුගිය මාස 15 පුරාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමට සිටි ලැයිස්තුව ඉවත්කර ඖෂධ සඳහා නැවත ලියාපදිංචි විධිමත් කිරීමට ඔහු කටයුතු කර තිබුණා.