වෛද්‍ය අලා අල්-නජ්ජාර් සිකුරාදා දකුණු ගාසා තීරයේ නසාර් වෛද්‍ය සංකීර්ණයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රැකියාවට ගොස් තිබුණේ ඇගේ දරුවන් 10 දෙනා සැමියා සමඟ නිවසේ තබාය.
ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පැය කිහිපයකට පසු ඇගේ දරුවන් හත් දෙනෙකුගේ මළ සිරුරු රෝහලට රැගෙන විත් තිබුණා. මිය ගිය දරුවන් වෛද්‍ය නජ්ජාර්ගේම දරුවන් වූ අතර ඔවුන්ගේ නිවස ඊශ්‍රායල ප්‍රහාරයකට ලක් වී ඇති බවයි පැවසුණේ. මාස 07ක් වියැති හා අවුරුදු 12ක් වන දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අතුරුදන් වී තිබෙනවා. මිය ගිය දරුවන් දරුණු පිළිස්සුම් තුවාල ලබා මිය ගොස් ඇති බවයි දක්නට ලැබුණේ.
මාධ්‍ය වාර්තාවලට අනුව ඇගේ දරුවන් දස දෙනාගෙන් එක් අයෙකු වන 11 හැවිරිදි ඇඩම් පමණක් දිවි ගලවා ගෙන තිබෙනවා. වෛද්‍ය නජ්ජාර්ගේ සැමියා වන හම්ඩි ද වෛද්‍යවරයෙකු වන අතර ඔහු ද ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබා ඇති බව සඳහන්ය.
ගාසා සිවිල් ආරක්ෂක අංශය ප්‍රහාරය සිදු වූ ස්ථානයේ සිට ග්‍රැෆික් වීඩියෝවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි වෛද්‍යවරුන් තුවාල ලැබූ මිනිසෙකු ස්ට්‍රෙචරයක් මතට ඔසවාගෙන යන ආකාරයත් තවත් කිහිප දෙනෙක් නිවස පුරා පැතිර යන ගින්න නිවා දැමීමට උත්සාහ කරන ආකාරයත් සටහන් වී තිබුණා. ඔවුන් සුන්බුන්වලින් දරුවන් කිහිප දෙනෙකුගේ පිළිස්සුණු දේහයන් ගොඩගෙන සුදු පැහැති ඇඳ ඇතිරිලිවලින් ඔතා ගන්නා ආකාරය එම දර්ශනවල ඇතුළත්ය. ඔවුන්ගේ ඥාති දියණියක වන වෛද්‍ය සහාර් අල්-නජ්ජර් CNN වෙත පවසා තිබුණේ 38 හැවිරිදි හම්ඩි තම බිරිඳ රෝහලට ඇරලවා තම දරුවන්ට ආහාර ලබා ගැනීමට ගිය බවයි. ඔහු ආපසු පැමිණෙන අවස්ථාවේ ඔවුන්ගේ නිවසට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර එය පුපුරා ගොස් තිබුණේ නැහැ. ඔහු තම දරුවන් බේරා ගැනීමට ඇතුළට දිව ගිය නමුත් දෙවන ඊශ්‍රායල ප්‍රහාරයකට ගොදුරු වූ බවයි.
“මගේ පියා හම්ඩි මාමා බේරා ගැනීමට ගිය නමුත් පාරේදී ඇඩම්ව සොයාගෙන රෝහලට ගෙන ගියා. හම්ඩි මාමා සිවිල් ආරක්ෂක භටයින් විසින් රැගෙන ගිය අතර ඉතිරි දරුවන් සියල්ලන් පිළිස්සී ගොස් තිබුණා” ඇය සඳහන් කර තිබෙනවා.
වෛද්‍ය අලා තම ළදරු දියණිය වන සිද්‍රා වෙනුවෙන් දොවා තිබූ මව්කිරි බෝතලය දුටු තමා බිඳීගිය බවත් සිද්‍රාගේ සිරුර තවමත් සොයා ගෙන නොමැති බව ඇය පවසා තිබෙනවා.
“ඇය අද මට කිව්වා ඇය මව්කිරි දෙන විට ඇගේ පපුව රිදෙන බව”
“වෛද්‍ය අලාට කතා කිරීමට අපහසුයි. ඔබට ඇගේ මුහුණ දැකිය හැකි නම්, ඔබට ඇගේ වේදනාව තේරෙනු ඇත. ඇය තම පුතා සහ සැමියා සුවය ලබා දෙන ලෙස යාඥා කරනවා පමණයි”