සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීමට යන බවට වන ප්‍රචාරණයන් අසත්‍ය බවත් සේවක හා ගොවි උද්ඝෝෂණ පිටුපස සිටින්නේ දේශපාලන බලවේගයන් කිහිපයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා.
සෙවනගල සීනි සමාගම වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර මෙරට සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා…..
“සෙවනගල සීනි සමාගම වැහෙන්නේ නැහැ. එහෙම තීරණයක් අරගෙනත් නැහැ. අපේ සීනි කර්මාන්තය බිඳ වැටෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ.
තනි තනි පුද්ගලයන්ගේ අභිමථාර්ථ වෙනුවෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න දේශපාලන වශයෙන් කවුරුහරි කටයුතු කරනවා නම් මේ සියල්ල සම්බන්ධයෙන් තීරණ ගන්න අපි පැකිළෙන්නෙත් නැහැ.
පහුගිය කාලේ සේවකයන්ගේ ප්‍රශ්න ආවා. සේවකයෝ පන්දහසකට වැඩිය මේ ආයතනයේ ඉන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල, වැල්ලවාය ප්‍රදේශවල වක්‍රව ලක්ෂ දෙකකට වඩා ගොවි ජනතාව සීනි ආයතනයෙන් නඩත්තු වෙනවා. ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිත රැක බලාගත යුතුයි.
උක් කර්මාන්තයේ යෙදෙන අයට සාධාරණව ගෙවීම අපි දිගටම කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් කරනවා. මේ ආයතනය නිකම්ම නිකම් සීනි හදන ආයතනයක් නෙවෙයි.
රැකියා පන්දහසකට වැඩිය පවුල් 5000 අපි ආරක්ෂා කර ගන්නවා. එහෙම කර්මාන්තයක් වැහෙන්න කොහෙත්ම අපි ඉඩ දෙන්නේ නෑ. කාටහරි මේ ආයතන වහලා ඒවා කාගේහරි වුවමනාවට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අපි ඉඩ දෙන්නෙත් නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් අනුව අපට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන නිසා අපේ රටේ නිෂ්පාදනය කරන සීනිවලට වැට් බදු පනවලා තියෙනවා 2024 ඉඳලා.
ආනයනය කරන සුදු සීනිවලට වැට් බදු පනවලා නැහැ. ඒක නිසා ලෝක වෙෙළඳපොළේ සුදු සීනි මිල අඩු වෙලා තියෙනවා. සුදු සීනි ලංකාවට ගේන්නේ රුපියල් 132ක පමණ ප්‍රමාණයකට. රුපියල් 50ක බද්දක් අය කරනවා.
වෙළෙඳපළේ විකිණෙන්නේ 220ට. අපේ ආණ්ඩුව ලංකා සීනි සමාගමේ හදන ඒවා ගොවීන්ගෙන් අරගෙන මෙට්‍රික් ටොන් එකකට රුපියල් 10,000ක් ගොවියන්ට දීලා කර්මාන්ත ශාලාවට ගේන කොටම සීනි කිලෝ එකකට යන වියදම රුපියල් 205ත් 207ත් අතර ගාණක් වෙනවා. ගොවියන්ට සිදු කරන ගෙවීම් හැදිලා තියෙන්නෙත් දේශපාලන ක්‍රියාවලියක් තුළයි.
මේට්‍රික් ටොන් එකකට 2020 ගෙවලා තියෙන්නේ රුපියල් 5000යි. 2021 දී 5500ක් වෙලා තියෙනවා. 2023 දී 7500 වෙලා. 2024 වෙනකොට රුපියල් 10,000 වෙලා තියෙනවා.
එවකට පැවැති පොදුජන පෙරමුණ ආණ්ඩුව තමයි ඒ තීරණ අරන් තියෙන්නේ. ඒ තීරණය අකුලන්න බැරි නිසා අපි ඒ ගානම ගොවියන්ට ගෙවනවා. ඒකට වැට් එක අය කරන එක අතිශය අසාධාරණයි!
උක්ගහ කපලා කර්මාන්තශාලාවට ගේන එක විතරයි එතැන සිද්ධ වෙන්නේ. කර්මාන්තශාලාවේදී අගය එකතු කරනවා. දැන් වෙන්නේ රුපියල් 205 ටත් වැට් එක එකතු වෙනවා.
360ට තිබිච්ච දුඹුරු සීනි කිලෝ එක ලංකා සීනි සමාගම පහුගිය කාලයේ මිල අඩු කිරීම් කරලා අපේ කළමනාකරණය යටතේ 260 දක්වා අඩු කරලා වෙළෙඳපොළට ගෙනාවා. රුපියල් 100කින් මිල අඩු කරන තත්ත්වයට ගෙනාවා. හැබැයි එක ගොවියකුටවත් ගෙවීම් අඩු කළේ නැහැ.
සේවකයන්ට කරන ගෙවීම් අඩු කළේ නැහැ. මෙරට නිෂ්පාදිත දුඹුරු සීනි ස්ථාවර මිලකට වෙළෙඳපොළට නිකුත් කරන්න අපි තීරණය කළා. ඒ අනුව අපේ සීනි සමාගම්වලින් නිකුත් කරන සීනි කිලෝවක් සඳහා රුපියල් 236ක පමණ ස්ථාවර මිලක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති කියලා මම විශ්වාස කරනවා.
අපි මේ ආයතනය භාර ගන්නකොට තාවකාලික, කොන්ත්‍රාත්, අනියම් පදනම මත බඳවාගත් සේවකයෝ 5000 වඩා හිටියා.
ඒ කිසි කෙනෙක් අයින් කළේ නැහැ. අදටත් ඉන්නේ ඔවුන් එක්ක වැඩ කරනවා කියන ස්ථාවරයේ. සියලු දෙනාට පඩි ගෙවනවා. උත්සව දීමනා දුන්නා. දිරිගැන්වීමේ කටයුතු දීමනා සියලු දේ කළා.
ඒ සියල්ල කරලා තියෙද්දී වෘත්තීය සමිතිය හැටියට ප්‍රශ්නයක් නැතුව තියෙන වෙලාවක ගොවියන්ට උද්ඝෝෂණය කරන්න කිසිම සාධාරණ හේතුවක් නැතුව තියෙන වෙලාවක ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉවත් කරපු දවසේ ඉඳලා තමයි මේ උද්ඝෝෂණ ක්‍රියාවලිය ආරම්භ වුණේ. මේක ගොවියන්ගේ වුවමනාවක්වත් සේවකයන්ගේ වුවමනාවක්වත් නෙමෙයි. දේශපාලන වුවමනාවට සිද්ධ වෙන ක්‍රියාවලියක්. උද්ඝෝෂණයට සහභාගි වූ අයගේ ඡායාරූප තියෙනවා.
සමගි ජනබල වේගයේ හිටපු විපක්ෂ නායකවරයෙක් මෙතන මූලික වෙලා ඉන්නවා. සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මෙතන ඉන්නවා.
සීනි ව්‍යාපාරය ලංකාවේ පවත්වාගෙන යන්නේ එතනෝල් විකිණීමෙන් අපට ලැබෙන ආදායමෙන් තමයි. සීනි මිල අඩුවට පවත්වාගෙන යන්නේ එතනෝල් ලීටරයට 1500ක් 2000 විතර මීට කලින් ලැබිලා තියෙනවා.
දැන් ඒ මිල අඩු වෙලා රුපියල් 475ට බැහැලා තියෙනවා. දැන් ලීටර් මිලියන 5.5ක් විතර අපේ එතනෝල් ඉතුරු වෙලා තියෙනවා. එක්කෝ මේක විසි කරන්න ඕනෑ.
නැත්නම් කර්මාන්තයක් හැටියට නිෂ්පාදනය කරන ආයතනයකට දෙන්න ඕනෑ. ඒ දෙකම නැත්නම් මොකක් ද කරන්නේ.
ලංකා සීනි සමාගමත්, ගල්ඔයත් ඇතිමලෙත් සමාගම්වල ප්‍රධාන නිලධාරීන් එකතු කරලා සාකච්ඡා කරා. හෙට ඉඳලා එතනෝල් අරක්කු නිෂ්පාදනය කරන සමාගම්වලට ස්ථාවර මිලකට ලබා දෙන්න තීරණය කළා. අවම වශයෙන් රුපියල් 800 මිලකට එතනෝල් අරක්කු නිෂ්පාදන ආයතනවලට ලබාදෙනවා.