ජනප්‍රිය ගීතයක් වන Kaanta Laga ගීතයේ මියුසික් වීඩියෝවෙන් ඉන්දියාව පුරා ජනප්‍රිය වූ රියැලිටි තාරකාවක් වන ෂෙෆාරි ජරිවාලා පසුගිය දා හදිසියේ ජීවිතක්ෂයට පත් වුණේ මුළු ඉන්දියාවම කම්පාවට පත් කරමිනි.
මාධ්‍ය වාර්තා කළ ආකාරයට ඇගේ වියෝවට හේතු වී තිබුණේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි. මිය යන විට ඇය 42 හැවිරිදි වියේ පසුවුණා. ඇගේ මරණයට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය නොවූ පසුබිමක ප්‍රාථමික වාර්තා කිහිපයක් පෙන්වා දෙන්නේ ඇය සම පැහැපත් කිරීමට ලබා ගත් එන්නතක් විෂ වීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.
එම වාර්තාවලට අනුව ජරිවාලා මිය ගිය දිනයේ නිරාහාරව සිට තිබෙනවා. එදින රාත්‍රියේ ඇයගේ පළමු ආහාර වේල අතරතුර ඇය ක්ලාන්ත වී ඇද වැටුණු බව ද වාර්තා වන්නකි. CNN-News 18 හි වාර්තාවකට අනුව, නිළියට සමීප ආරංචි මාර්ග ෂෙෆාලි එදින සවස වයස්ගත වීම වැළැක්වීමේ එන්නතක් ලබා ගත් බව හෙළි කර ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත්, ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇගේ මරණයට නිශ්චිත හේතුව පැහැදිලි කරනු ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ.
NDTV ආරංචි මාර්ගවලට අනුව, නිළිය සම පැහැපත් කිරීම සහ විෂ ඉවත් කිරීමේ අරමුණු සඳහා බොහෝ විට භාවිතා කරන ද්‍රව්‍යය වන විටමින් C සහ ග්ලූටතියෝන් (Glutathione) භාවිතය ඇතුළු වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවයි සඳහන් වන්නේ.
මූලික වාර්තාවලට අනුව, ඇයට දිවි අහිමි වූ හෘදයාබාධය ඇති වී තිබුණේ ජුනි 27 සහ 28 අතර සිකුරාදා රාත්‍රියේය.
ඇගේ මරණය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද වැඩිදුරටත් සඳහන්ය.