කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ සැලසුමක් අනුමත කර ගැනීමේ වැඩකටය.

සතියක් තුළ තාක්ෂණික නිලධාරී එය පරීක්ෂා කිරීමට අපගේ නිවසට පැමිණි අතර එම සතියේම එක්තරා දිනයක එය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අනුමැතියට යොමු කෙරිණි.

අදාළ අනුමැතිය දීමට පෙර සේවාව ලබාගැනීමට පැමිණි පුද්ගලයා හමුවීම සභාපතිවරයාගේ සාමාන්‍ය සිරිතක් වන නිසා ප්‍රාදේශීය සභාවේ සේවක මහතකු විසින් අදාළ ලිපිගොනුව සමග මාව සභාපතිතුමා වෙත කැඳවාගෙන යන ලදී.

පසුගිය දා ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවනු ලැබු කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති සඳුන් යාපා කරුණාරත්න මහතා හමුවන්නට සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සඳුන් යාපා කරුණාරත්න අතිශය ප්‍රසන්න මිනිසෙකි. එය පැහැදිලිවම සඳහන් කළයුත්තේ ප්‍රසන්න යැයි නම් කියාගෙන අතිශය පහළ මට්ටමින් පටන් ගෙන ඉහළටම පැමිණි පසු අප්‍රසන්න වූ සභාපතිවරුන් හමුවටද අපි අභිමුඛ වීඇති නිසාය. මහ ජනතාව නියෝජනය කිරීම සඳහා ගමේ ඉහළම පුටුවට ඇවිත් වැඩක් කරගැනීමට පැමිණෙන මිනිසුන් තඹේකට මායිම් නොකරන ප්‍රාදේශීය සභාවල නායකයින් අප දැක ඇති නිසාය.

කැලණියේ නව සභාපතිවරයා වෙනස් දෘෂ්ටියකින් දැකීමට අපට බලකළේ පැරණි අප අත් විඳ ඇති දේශපාලන සංස්කෘතිය විසින්මය.

ඉන්පසුව කැලණිය අභිනව සභාපතිවරයා අප පැමිණි කාරණාව විමසා බැලීමෙන් අනතුරුව අපගෙන් විමසන ලද මුල්ම ප්‍රශ්නය වූයේ සැලසුම අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කිසියම්ම හෝ තැනක ප්‍රමාදයක් සිදු වූවාද යන්නයි.

සුළු වැඩක් කර ගැනීමට පවා වෙනදා යන වටේ යාම මෙවර ඇත්තටම සිදු වූයේ නැත. සතියක් එකහමාරක් ඇතුළත අනුමැතිය දක්වා කොටස යම් කාර්යක්ෂම මට්ටමකින් සිදුවූ බව සඳහන් කළ යුතුය.

දෙවනුව ඔහු අපෙන් විමසා සිටියේ එම ක්‍රියාවලිය අතරතුර කිසියම්ම හෝ තැනකදී කිසිවකුට මුදල් ලබා දීමට සිදුවූවාද යන්නයි.

කාරණාව පැහැදිලිය. කැලණිය ප්‍රාදේශීය සභාවට හොඳ ඉවක් ඇති සවිඥානික සභාපතිවරයෙකු ලැබී ඇත. අප පිළිබඳ වගතුග කිසිවක් නොඇසූ සභාපතිවරයා, ඔහු ඉදිරියට එන ඕනෑම මනුස්සයෙකුට සලකන ක්‍රමයට අපගෙන් ඇසූ ප්‍රශ්න කිහිපය නිසා අපට වැටහුණේ ඔහු ඉතා සවිඥානිකව සහ සහකම්පනයෙන් යුතුව ක්‍රියාවලිය දෙස බලා සිටින බවයි. ඔහු තවම සිටින්නේ ඔහුගේ අධිකාරිය නිරීක්ෂණය කරමින් විය හැකිය.

මීට පෙර අදාළ කටයුත්ත සඳහා පැමිණි අවස්ථාවලදී ඔහු ඉහළ මාලයේ සිට පැමිණෙන ජනතාව දෙසත් ඔවුන් පැමිණි කාර්යයන් නිසි පරිදි සිදුවනවාද යන්න අධීක්ෂණය කරන බව ද අපට පෙනිණි. සේවකයින් ප්‍රමාද වී පැමිණීම්, නියමිත වේලාවට පෙර අත්සන් තබා පිටව යන ඒවා තවමත් එසේම සිදුවෙමින් පවතිනවා විය හැකිය. නමුත් හෙමි හෙමිහිට හෝ කැලණියේ යමක් සිදුවෙමින් පවතින බව අපට වැටහිණි.

කවුද මේ සඳුන් යාපා කරුණාරත්න..

ජුනි 13 වැනිදා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන් සඳුන් යාපා කරුණාරත්න වෘත්තියෙන් නීතිඳයෙකි. මාධ්‍යවේදියකු හා විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයෙකි. දූෂණ විරෝධී ජ්‍යාත්‍යන්තර නීතිය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය (BA) ගෞරව, සමාජ විද්‍යාපති පශ්චාත් උපාධිය (MSSc) ජනමාධ්‍ය විෂය පිළිබඳ ශාස්ත්‍රීය උපාධියක් (MA) ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ විධායක කාරක සභිකයෙකි. සමාජය හා මිනිසුන් සමඟ ගණුදෙනු කිරීමට ඔහුට තිබෙන හැකියාව ඔහුගේ සියලුම විෂයානුබද්ධ ශාස්ත්‍රාලයීය දැනුමට ආලෝකයකි.

අප පැතූ සමාජ පරිවර්තනයට අවශ්‍යවන්නේ එවැනි නායකත්වයකි. සිස්ටම් චේන්ජ් කිරීමට අවශ්‍ය ලොකු ලොකු පෙරළි නොව එක කුඩා මිනිසෙකුගේ කුඩා ක්‍රියාවකි. එය එසේ සිදුවෙමින් පවතින බව දකින්න ලැබීම පුදුමාකාර සතුටකි. මිනිසුන් 2015 අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනාවෙත් 2019 දී ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නේත් සිස්ටම් චේන්ජ් එකක් දැකීමටය.

2024 දී අනුර කුමාර දිසානායක බලයට ගේන්නේ එම සිස්ටම් වෙනස ගැන අසීමිත බලාපොරොත්තු තියාගත් මිනිසුන් විසින්මය.

ඉතින් එම වෙනස කොහෙන් හෝ පොඩි තැනකින් හෝ ආරම්භ වී ඇති බව පමණක් දැනට කියමි.

– සත්‍යජිත්

Latest News

More like this

ජනප්‍රිය දකුණු කොරියානු නිළිය සමුගනී

දකුණු කොරියානු නිළි ලී සියෝ-යි (Lee Seo-yi) වයස අවුරුදු...

සාරා සහ ආදිත්‍ය රෝයි කපූර්ගේ මෙට්‍රෝ දුම්රිය ගමන

ආදිත්‍ය රෝයි කපූර් හා සාරා අලි ඛාන් රංගනයෙන් දායකවන...

ඉන්දියාවේ ජනප්‍රිය තරුවගේ මරණයට හේතුව සුදු වීමට එන්නත් කරගත් ග්ලූටතියෝන් ද?

ජනප්‍රිය ගීතයක් වන Kaanta Laga ගීතයේ මියුසික් වීඩියෝවෙන් ඉන්දියාව...

වසර 21 කට පසු ෂාරුක් ඛාන් නැවත ශ්‍රී ලංකාවට එයි?

රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය...
error: Content is protected !!