කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් ‘නව ජනතා පෙරමුණ’ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය සිකුරාදා පැමිණිල්ලක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තා ද පළ කරනු ලැබ තිබුණා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය අදාළ මාධ්‍ය නිවේදන නිකුත් කර ඇත්තේ එම වාර්තාවලට ප්‍රතිචාරයක් ලෙසයි.
එම නිවේදනය මෙසේය.
පාර්ලිමේන්තුව විසින් කථානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වන විවිධ ප්‍රවෘත්ති වාර්තා පිළිබඳ මාධ්‍ය නිවේදනය !
පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පහත දැක්වෙන කරුණු අවධාරණය කර සිටියි.
එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කථානායකවරයාගේම යෝජනාවකට අනුව කථානායකවරයා වෙත ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී. ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා සිටියි.
තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.
කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවේ.
තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන්ද ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
කථානායකවරයා විසින් සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි.
එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.