ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද ඇතැම් නික්ම යාම් විශ්වාස කළ නොහැකිය.
කුඩා ගම්මාන 10, වැලිගල්ල, හම්බන්තොට ලිපිනයේ පදිංචි දඩල්ලගේ රශ්මි ලක්ෂිකාගේ නික්ම යාමද ඇයගේ මව්පියන්ට, සහෝදරයින්ට, පෙම්වතාට, අසල්වැසියන්ට මෙන්ම ඇගේ මරණය අසන්නන්ටද දැඩි වේදනාවක් වන්නේ එය ඇය යන්න සිටි ගමනක් නොවන නිසාය.
රශ්මි පෙරේදා (20) ඇගේ පෙම්වතා සමඟ යමින් සිටියේ ඇගේ විශ්වවිද්‍යාලය වන රජරට සරසවියේ සිට හම්බන්තොට ප්‍රදේශයේ ඇගේ නිවස බලාය.
නමුත් අතරමඟදී සිදු වූ කුඩා අතපසුවීමක් හෝ අත්වැරැද්දකින් පසු ඇගේ ජීවිතය පරදුවට තැබීමට ඇය තීරණය කර තිබුණාය.
ඒ පෙම්වතාගේ ජීවිතය බේරාගැනීම සඳහාය.
මහියංගන බදුල්ල මාර්ගයේ මාපා කඩවැව,17 කණුව ප්‍රදේශයේදී 20 වැනිදා සවස පහට පමණ මහවැලි වියානා වැවට වැටී සරසවි සිසුවියක් අතුරුදන් වූ බව වාර්තා වුණේ ඉන් අනතුරුවය.
ඉන් පැය 18කට පසු අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර 4කට පමණ ඈත ඇළෙහි පහළ ඔරුබැඳිවැව දියබානා වැවේ පාවෙමින් තිබියදී සොයා ගනු ලැබුවේ ඇගේ නිසල සිරුරයි.
මිය ගිය රශ්මි 26 හැවිරිදි තරුණියක් වූ අතර 27 හැවිරිදි ඇගේ පෙම්වතා සමඟ සරසවියේ සිට නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණා.
ඔවුන් පෙම්වතාගේ මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී මාපා කඩවැව,17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළ අසලට පැමිණ මීට සතියකට පමණ පෙර මෝටර් රථයක් ඇළට වැටුන ස්ථානයට මඳක් ඉහළින් ඇති ස්ථානයක ගිමන් හැර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඇළ වේල්ල දිගේ දෙදෙනා ඇවිදගෙන ඇළ දිගේ ඉහළට ගමන් කරද්දි පෙම්වතා එකවරම ඇළට වැටී ඇති අතර පෙම්වතා බේරා ගැනීමට ඇය ඇළට පැන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දෙදෙනාටම පිහිනීමට නොහැකිව ඇළේ සැඩ පහරට හසුව ගසාගෙන පහළට යද්දී දිය නාමින් සිටි කාන්තාවක් කෑ ගසා ඒ අසල සිටි පිරිසට දන්වා ඇතැයි පොලිසිය පවසනවා.
කෑ ගැසීමත් සමග ඒ ආසන්නයේ සිටි මහියංගන පොලිස් විද්‍යාලයට අනුයුක්ත සේවය කරන කොස්තාපල් 86726 සුමේධ බණ්ඩාර නිලධාරියා හා ඔහුගේ බිරිය මධුෂිකා දේශානි යන දෙදෙනාම ඇළට පැන දියේ ගසාගෙන යමින් සිටි පෙම්වතා බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
එහෙත් ජල පහරේ ගසාගෙන ගිය රශ්මි බේරා ගැනීමට ඔවුන් සමත් වුණේ නැහැ.
ඌරුබොක්ක මාතර ලිපිනයේ පදිංචිකරුවක වන පෙම්වතා මහියංගන මූලික රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර අතුරුදන්වූ රශ්මි සොයා මහියංගන පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
වියනා ඇළ දිගේ පහළට සොදිසි මෙහෙයුම් කළ අතර වියානා ඇළේ පහළ කෙළවරක් වන ඔරුබැඳි වැව දියබානා වැව දක්වාම පෙරේදා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුණා.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රත් පරීක්ෂණය හා මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතය.