ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහමන් නමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේ අද (නොවැම්බර් 12 වැනිදා) අධි චෝදනා භාරදුන්නේය.
මෙම නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේදී ය.
එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාර දෙනු ලැබිණි.
ඇප මත මුදා හැරීමට නියෝග
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදා හැරුණු බව කියා සිටියේ ය.
මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරු වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පවුලේ කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඩාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඉන් අනතුරුව මෙම නඩුව දෙසැම්බර් මස 8 වන දා කැඳවීමට නියම විය.
එල්ල වී ඇති චෝදනා මොනවාද ?
2024 LPL ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
දඹුල්ල කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් යොදාගෙන එල්. පී.එල් තරගාවලියේදී තමන්ට අවශ්‍ය ආකාරයට තරග පාවාදීම් කටයුතු සිදු කිරීම මෙම සැකකරුගේ අරමුණ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
“තමා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රැගෙන ආ බවත් සැකකරු සඳහන් කර තිබෙනවා” රජයේ නීතිඥ උදාර කරුණාතිලක මීට පෙර දිනකදී අධිකරණය හමුවේ පවසා තිබිණි.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 යන වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති නිසාත් තව දුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නිසාත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නීතිඥවරයා විසින් එහිදී ඉල්ලා සිටින ලදී.
‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකරුවන් කවුද ?
2023 වසරේ පැවති LPL තරගාවලියේ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල 2024 වසරේදී එම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් ඉවත් විය.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම ගිවිසුම් ගතවිය.
එම සමාගමේ සම හිමිකරුවන් වන්නේ බංගලාදේශ ජාතිකයින් වන තමීම් රෙහෙමාන් සහ ගලාම් රාකීබ් වේ.
තමීම් රෙහෙමාන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු වේ.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන් සහභාගි වී තිබිණි.
