බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.
ඩකාහි ජ්‍යාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
අපරාධ විනිශ්චය සභාව විසින් මෙම නඩුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව එරට රජය විසින් අගනගරය පුරා විවිධ ස්ථානවල විශාල තිරවලින ජනතාවට දැක බලා ගැනීමට සලස්වා තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
වසර 15ක් පුරාවට බංගලාදේශය පාලනය කරනු ලැබු ෂෙයික් හසීනාට එරෙහිව මෙම විමර්ශනය සිදු කරනු ලැබුවේ එම විනිශ්චය සභාව ඉදිරියේ ඇයගේ පෙනී සිටීමකින් තොරව වීම විශේෂත්වයකි.
2024 වසරේ එරට සිසුන්ගේ මූලිකත්වයෙන් ඇති වු අරගලයකින් පසුව ඇය රටින් පලා ගොස් මේ වන විට ජීවත් වන්නේ ඉන්දියාවේය.
එම අවස්ථාවේ රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ ඇයට මෙම දඬුවම් නියම කර තිබෙනවා.
ඇයට එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ, 2024 වසරේ ඇති වූ සිසුන්ගේ විරෝධතා මර්දනය කිරීමේ “ප්‍රධාන සැලසුම්කරු සහ ප්‍රධාන නිර්මාතෘ” ලෙස කටයුතු කිරීමයි.
රජයේ රැකියා සඳහා වූ මතභේදාත්මක කෝටා ක්‍රමයක් හේතුවෙන් ආරම්භ වූ මෙම මහජන පෙලපාලි මර්දනයේදී පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත් ෂෙයික් හසීනා අධිකරණ තීන්දුව පක්ෂග්‍රාහී සහ දේශපාලනයට නතු වු තීන්දුවක් යැයි පවසමින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා පවසනවා.
