බැසිල්ගේ පැත්තක් හිරි වැටිලා…

ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු බවට සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළත් ලේඛන අධ්‍යයනය කිරීමේදී සැකකාර බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මගහරින බවට බරපතළ සැකයක් පවතින බව ඊයේ (21) නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මාතර මහේස්ත්‍රාත් අධිකරනය හමුවේ පවසා තිබෙනවා.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එකහාමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ පෙරවරුවේ විභාගයට ගත් අතර බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් බලපත්‍ර වෙන්කර, පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය වුණා.

එහිදී නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියද, තෙවන හා සිව්වන සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා ඇතුළත් ලේඛන ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම වෛද්‍ය වාර්තා අධ්‍යනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමින් පවසනු ලැබුවේ මේ නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18 වැනිදා වන බවත් ඒ අනුව ඔහු වසරකට අධික කාල සීමාවක් අධිකරණය හමුවේ පෙනී සිටීම මඟ හැර ඇති බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය වැඩිදුරටත් මෙසේ පෙන්වා දී තිබුණා.

“ස්වාමිනි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පසුගිය නඩුවාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇතිවුන බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් විසින් ගුවන් ගමන් නොසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා. නමුත් X Ray වාර්තාවල කිසිදු අස්ථි භග්නයක් පෙන්නුම් කෙරුණේ නැහැ.

එදින සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා අද දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ. ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට ” Left Side Sciatica ” හෙවත් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා.

නමුත් ස්වාමිනි මේ ලේඛන මා අධ්‍යනය කරපුවාම බරපතළ සැකයක් ඇතිවුණා සැකකරු ඇත්තටම අසනීපයෙන් ඉන්නවාද, නැතිනම් අධිකරණය මඟහරිනවා ද කියලා”.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනුවේ පරස්පරතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියෙන්නේ ජොර්ජ් චිඩී’ කියලා පුද්ගලයෙක්. මේ ලේඛනවල රෝග ලක්ෂණ සටහන් කරලා තිබුණාට, ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. අනික පෙර නඩුවාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශීර්ෂය නෙමෙයි, අද ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල තියෙන්නේ.

ඊළඟට බැසිල් රාජපක්ෂට ඔය කියන “Left Side Sciatica” එහෙමත් නැතිනම් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වය තියෙන නිසා මාස 06ක් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වැනිදා.

වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබියදී ඊට පසු සැප්තැම්බර් 25 වැනිදා, මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුළ ගුවන් ගමනකින් මෙරටට පැමිණෙන්න ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් වෙන් කරගෙන තියෙනවා. පසු අවස්ථාවක ඔක්තෝබර් මාසයේ යළි එය අවලංගු කරන්නැයි ඉල්ලා තිබෙනවා.

ඒ වගේම ස්වාමිනි මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාවය තිබෙනවාදැයි පරික්ෂා කිරීමට ගුවන් සමාගම ඉදිරිපත් කළ පෝරමයේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයෙකුගේ සහයෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකියි, ගුවන් යානය තුළ විශේෂ පුටුවක්, ඇදක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නැහැ කියලා”.

සිය කරුණු දැක්වීම් අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවන් පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.

එහිදී මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන්ට නියෝග කර තිබෙනවා.

Latest News

More like this

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...