රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක් ඇතිවීමේ අවදානම මධ්‍යයේ ස්වේච්ඡාවෙන් හමුදා සේවයට බැඳීමේ නීති යථා තත්ත්වයට පත් කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් නිවේදනය කර තිබෙනවා.
ප්‍රංශය මෙසේ ස්වේච්ඡා හමුදාවක් නිර්මාණය කරන්නේ යුද්ධයට බලහත්කාරයෙන් බඳවා ගැනීම් අහෝසි කිරීමෙන් දශක තුනකට පසුවය.
හමුදාවට බැඳීමට කැමති තරුණ වැඩිහිටියන්ට මාස 10 ක සේවයක් සඳහා ලියාපදිංචි විය හැකි බව ජනාධිපති මැක්‍රෝන් පවසා තිබෙනවා.
මෙම ජාතික සේවාව ලබන ගිම්හානයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙසේ බඳවා ගනු ලබන අවුරුදු 18 සිට 19 දක්වා ස්වේච්ඡා සේවකයින් ප්‍රංශය තුළ පමණක් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බවද මැක්‍රෝන් පවසා තිබෙනවා.
මෙම තීරණය රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර තුනහමාරකට පසුව ගනු ලැබූවකි. ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් එක්සත් ජනපද ආරක්ෂක සහතිකය මත තවදුරටත් විශ්වාසය නොතබන බවට මේ තීරණය ප්‍රබල උදාහරණයක් වෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙනස්වන ප්‍රමුඛතා සහ රුසියාවේ ආක්‍රමණශීලී ස්ථාවරයේදී යුරෝපයට ඔවුන්ගේම ආරක්ෂක වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුවී ඇති බව මෙයින් පෙන්නුම් කරනවා.
“අප සැමට බලපාන තර්ජනයක් හමුවේ අපගේ සියලුම යුරෝපීය සගයින් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින මොහොතක, ප්‍රංශයට නිෂ්ක්‍රීයව සිටීමට හැකියාවක් නැහැ” මැක්‍රොන් එසේ පැවසූ බව සඳහන් ය.
නව යෝජනා ක්‍රමය යටතේ, ප්‍රංශය ලබන වසරේ ගිම්හානයේ සිට ස්වේච්ඡා සේවකයන් 3,000 ක් ඇතුළත් කිරීමටත්, පසුව 2030 වන විට තරුණයින් 10,000 ක් සහ 2035 වන විට 50,000 ක් හමුදාවට ඇතුළත් කිරීමත් වශයෙන් ක්‍රමයෙන් හමුදාවන් වැඩි කිරීමට නියමිත බව පැවසෙනවා.
වර්තමානයේ, ප්‍රංශ සන්නද්ධ හමුදාවන්හි ක්‍රියාකාරී හමුදා නිලධාරීන් 200,000 ක් සහ ආරක්ෂක භටයින් 47,000 ක් පමණ සිටින අතර, 2030 වන විට පිළිවෙලින් සංඛ්‍යාව 210,000 සහ 80,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ප්‍රංශයේ ඉහළම ජෙනරාල්, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆේබියන් මැන්ඩන්, පසුගිය සතියේ රට තුළ කැළඹීමක් ඇති කළ ප්‍රකාශයකින්ද මතුවිය හැකි අනාගත අවිනිශ්චිතතාවක් පිළිබඳ දැඩි කණස්සල්ලක් මතුවුණා. ඔහු එහි දී සඳහන් කර තිබුණේ රුසියාව 2030 වන විට ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් සමඟ ගැටුමකට සූදානම් වෙමින් සිටින බවයි.
එබැවින් ප්‍රංශය “තම දරුවන් අහිමි කර ගැනීමට” සූදානම් විය යුතු බවට ඔහු අනතුරු අඟවා තිබුණා.
මීට පෙර, ප්‍රංශ ජනාධිපතිවරයා රුසියාවෙන් එල්ල වන අඛණ්ඩ තර්ජන හමුවේ පැරීසිය දුර්වලතාවය ප්‍රදර්ශනය නොකළ යුතු බවයි අවධාරණය කර තිබුණේ.
