කාන්තාවන් පැය 14ක් වැඩ කරද්දී පිරිමි වැඩ පැය 09ක් විතරයි

කාන්තාවන් දිනකට පැය 14ක් වැඩ කරද්දී පිරිමින් වැඩ කරන්නේ පැය 9ක් බව පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. මේ රටේ කාන්තාවන් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටසක් පවතින බවත් එය මුළු ශ්‍රමයෙන් 60%ක් බවත් මන්ත්‍රිවරිය සඳහන් කළාය.

“ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල වැනි ආයතන දිගටම කියන්නේ ලංකාවේ ශ්‍රම බළකාය තුළ කාන්තා සහභාගිත්වය ඉතාම අඩු බවයි. ආර්ථික සංවර්ධනයක් ඇතිකර ගන්න නම් කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය වැඩිකර ගත යුතු බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඔවුන් මේ තර්ක ගොඩනඟනකොට සැලකිල්ලට නොගන්නා කරුණු කිහිපයක් තිබෙනවා. එක් කරුණක් වන්නේ ගැහැනුන් වැඩිපුරම ශ්‍රමය වගුරන්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ බව. නිවාස ආශ්‍රිතව කුලී කම්කරුවන් ලෙස කටයුතු කිරීම, පවුලේ ව්‍යාපාර තුළ යෙදීම වැනි තත්ත්වයන් ඔවුන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ස්ත්‍රීන්

විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස සැලකිල්ලට ලක්කර නැහැ. පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ මේ රටේ කාන්තාවන් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටසක් පවතින බවයි. එය මුළු ශ්‍රමයෙන් 60%ක් බව හෙළිකර තිබෙනවා. ඔවුන් ආර්ථික කටයුතුවල යෙදෙන්නේ අර 60%ක කොටස ඉටුකරන අතරයි. නමුත් ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදලේ සංඛ්‍යාවල මේ 60%ක ශ්‍රම කටයුතු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. තව පැත්තකින් මේ තිබෙන තත්ත්වය තුළ දැනටමත් දිනකට පැය 14ක් පමණ වෙලාවක් කාන්තාවන් වැඩ කරන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. පිරිමින් වැඩ කරන්නේ දවසකට පැය 09යි.

ස්ත්‍රීන් තව වැඩ කළ යුතු බවට ඔවුන් බල කරන්නේ මේ යථාර්ථය තුළයි. පැය 08 සංකල්පය ඉක්මවා පැය 24ම වැඩ කරන්න යෝජනා කරන්නේ “නම්‍යශීලී වැඩ පසුබිම” කියන ලස්සන වචන ඇතුළෙයි. ආර්ථික අර්බුදයක් තුළ මෙවැනි යෝජනා ගේන්නේ කුමන කොන්දේසි යටතේ හෝ ආර්ථික වැඩවල යෙදීමට බල කෙරෙන පසුබිමකයි. කේවල් කිරීමේ හැකියාව කිසිසේත්ම නැති වෙනවා. කාන්තාවන්ට ඉතාමත්ම පීඩාකාරී ලෙස බලපානවා. තමන්ටම වැඩ කරන තත්ත්වයන් තෝරාගත හැකි බවට ඔවුන් කියනවා. නමුත් මෙය හිස් අවකාශයට එන්නේ නැහැ.

ආර්ථිකව රටක් කඩා වැටී පීඩාකාරී තත්ත්වයක් තිබෙන අතර දුර්වල පාර්ශ්වයන්ට තිබෙන ඉඩ ඉතාමත්ම සීමිතයි. ජීවත්වීමට කරන අරගලය තුළ කීයකට හෝ ශ්‍රමය විකිණීම අනිවාර්ය තත්ත්වයක් වී තිබෙනවා. අනිවාර්ය තත්ත්වය තෝරාගැනීමක් ලෙස අපිට අර්ථකථනය කරන්න බැහැ. මෙවැනි අවස්ථාවක හරි නම් ආණ්ඩුව කරන්න ඕනෑ, දුර්වල අය, පීඩාවට පත්වුණු අය, ආරක්ෂා කිරීමේ විධිවිධාන වැඩි කිරීමයි. නමුත් ආණ්ඩුව කරන්නේ ඔවුන්ව තවදුරටත් වහල්භාවය දක්වා ගෙනයන ක්‍රියාමාර්ග” යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.

– අනුරාධා හේරත්

Latest News

More like this

සෙවණැලි බැංකු පද්ධතියක් (Shadow Banking) බිහිවීමේ අවධානමක්.. ෆයිසර් මුස්තෆා අනතුරු අඟවයි

යෝජිත වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින්...

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...