පිරමීඩ සමාගමේ වත්කම ඇමරිකානු ඩොලර් කෝටි දහයක්. අධ්‍යක්ෂගේ කෝටි 63 ක දේපළ තහනම් කරයි

නීති විරෝධී පිරමීඩාකාර ගණුදෙනු සිදු කළ බව කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ඇමරිකානු ඩොලර් කෝටි දහයක් නීති විරෝධී පිරමිඩාකාර ගණුදෙනුවලින් උපයා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ චෝදනා අනුව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග නිකුත් කර තිබේ.

එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට හිමි කෝටි හැටතුනකට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඊයේ (04) නියෝග නිකුත් කළේය.

මාතර, කළුතර, හම්බන්තොට, කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඉඩම් 20ක ප්‍රමාණයක් මෙලෙස තහනම් කරමින් නියෝග නිකුත් කළේය.

සැකකරුට අයත් ඉඩම් විස්සක් එකම දිනයකදී ඔහුගේ බිරියට ඉඩම් 8ක් ද ඔහුගේ මිතුරකුට ඉඩම් 12ක් ද පවරා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙසේ ඉඩම් පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කෙරිණි.

මාතර ප්‍රදේශයේ ඉඩම් හයක් ද, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් දෙකක්ද, කළුතර ප්‍රදේශයේ ඉඩම් දහයක් ද, කඩවත ප්‍රදේශයේ ඉඩම් දෙකක් ද මෙසේ තහනම් කෙරුණු අතර එම පළාත්වල ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත මෙම නියෝගය දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන් යන අයගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන් යන අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇත.

තවද මහ බැංකු මූල්‍ය ඒකකය සමඟ එක්ව බ්ලොක් චේන් ඇනලයිසින් නමැති විමර්ශනය සිදුකළ බවත් එහිදී මෙම මුදල් ගලා යන අවසාන ගිණුම (වොලට්ටුව) ඕස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ ගිණුමට මෙම මුදල් බැර වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් කළේය.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...