70 දශකයේ ජනප්‍රිය වූ කැසට් පට සඳහා කවර නිර්මාණය කිරීම, සිනමාව පුවත්පත්, පොත්, සඟරා, දැන්වීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක නිර්මාණාත්මක සන්නිවේදක භූමිකාවක් ඉටුකළ ප්‍රේම් දිසානායක මෙරට දැන්වීම් කලාවේ පෙරළිකාර චරිතයකි.
අඩ සියවසකට ආසන්න ඔහුගේ ජීවිතයේ අත්දැකීම් සියල්ල එක් තැනකට කැටි කරමින් ඔහුගේ ස්වයං චරිතාපදානය වූ ‘ප්‍රේම පුරාණය’ පසු ගිය දා(අගෝ. 25) එළි දැක්විණි.
එම කෘතිය ඔස්සේ සාහිත්‍ය, චිත්‍ර කලාව, පුවත්පත් කලාව, කවි, කෙටි කතා, සිනමාව ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක ඔහුගේ ජීවන වෘතාන්තයේ පරිච්ඡේදයන් දිග හැරෙන අතර දේශපාලන ලෝකයේ සැඟවුණු ගුප්ත අඳුරු පැතිකඩ ගණනාවක් ද විවරණය කරනු ලබයි.
88-89 භීෂණ කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වය සහ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට යන දෙපාර්ශවයේම හිරිහැර, තර්ජන විඳීමට සිදු වූ දහස් ගණනක් සිටි අතර බොහෝ අය නිකරුණේ ඝාතනය වූ බව සියල්ලන් දන්නා කරුණකි. ප්‍රේම් සිය කෘතියෙන් එම ඝාතනවලට හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා සෘජුව සම්බන්ධ බව අනාවරණය කර තිබේ.
1989 වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා යුධ හමුදාවේ ග්‍රහණයට පත්වන ප්‍රේම් දිසානායක එළොව දැක දැක ජීවිතය ගලවා ගත්තෙකි.
ඔහු එදින යුධ හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කිසියම් පුද්ගලයකු පළිගැනීමක් ලෙස සිදු කළ අනාවරණයක් හේතුවෙන් වන අතර ඔහුව අත් අඩංගුවට ගෙන තුම්මුල්ලේ ප්‍රදේශයේ කඳවුරක් වෙත රැගෙන ගිය බව ඔහු සඳහන් කරයි. එහි දී ඔහු අත් අඩංගුවට ගත් නිලධාරින් ප්‍රේම්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු යන පූර්ව නිගමනයේ හිඳිමින් දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්ණ කළ අතර අවසානයේ ඉහළ නිලධාරියකු වෙත ඔහු ඉදිරිපත් කළ බව කෘතියෙහි සඳහන් වේ. මෙය පළිගැනීමක් ලෙස සිදු කරන ලද ක්‍රියාවක් බවත් තමන් පිළිබඳව ජනාධිපතිවරයාගෙන් (එවකට) විමසන ලෙස ඔහු එම නිලධාරියාට පැවසූ අතර ඔහු මරණයෙන් ගැලවෙන්නේ ඉන් අනතුරුව බව ඔහු කෘතියෙහි සඳහන් කර ඇත.
නිදහස් වීමෙන් දින කිහිපයකට පසු ඔහු සුචරිතයට කැඳවා එය අත්වැරද්දකින් සිදු වූ දෙයක් බවත් නැවත එවැන්නක් සිදු නොවනු ඇති බවටත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔහුට දැන්වූ බව ප්‍රේම් සිය චරිතාපදානයේ පවසයි. මේ අනුව එම කාලයේ අතුරුදන් කරන ලද තරුණ ජීවිතවලට සිදු වූ ඛේදවාචකයන්ට සහ අහම්බෙන් ජීවිත ගලවා ගැනීම්වලට එවකට රටේ ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස ගේ සෘජු සම්බන්ධයෙන් සිදුව ඇති බව යළිත් තහවුරු කර ඇත.
