මිනිරන් හා ග්‍රැෆයිට් මාරු වුණු අනුරට පක්ෂයේ හිටපු සහෝදරයකුගෙන් සංවේදී ලියුමක්

පසු ගිය දා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලාංකිකයන් හමුවෙමින් කළ කතාවේ වචනයක වැරැද්දක් රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයකු වන සිසිර යාපා මහතා ඔහුගේ මිත්‍රයකු වන අනුර කුමාර දිසානායක වෙත වචනයේ වැරැද්දේ බරපතලකම පෙන්වා දෙමින් ලියූ ලිපියක්.

සිසිර යාපා,
බටලන්ද, හෙය්යන්තුඩුව.
2023.10.30

අනුර කුමාර දිසානායක,
ජාතික ජන බලවේගය,
පැලවත්ත, බත්තරමුල්ල.
ප්‍රිය මිතුර,

මා මෙලෙස කිසිවකුට හෝ ලිපියක් ලියන්නේ බොහෝ දිගු කලකට පසුවයි. එය විසින් ආරම්භයේ දී ම මා තුළ ඇති කරනු ලබන්නේ අතීත මතකයකි. මාගේ පාසල් වියේදී අපට විෂයක් ලෙස සිංහල ඉගැන්වූ ගුරුවරුන් කිහිප දෙනෙකු අතරින් මේ මොහොතේ මතකයට එන්නේ පල්ලෙවල ගුරුතුමයි. හොන්ඩා සුපර් කලබ් මෝටර් සයිකලයකට හිමිකම් කී ඔහු වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට ආවේ දන්කොටුව ප්‍රදේශයේ සිට එය ආධාරයෙනි. ඔහු දක්ෂ ගුරුවරයෙකි. දන්නා තරමින් එක් දියණියකගේ පියෙකි. අපට වඩා වසර කිහිපයකින් වයසින් බාල හුරුබුහුටි කුඩා දියණියක වූ ඇය අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි.

‘පල්ලෙවෙල සර්’ ලෙස අපේ ආමන්ත්‍රණය ලද එතුමා නිසා මට සිංහල විෂය ප්‍රිය විය. මම සිංහල විෂයට දක්ෂ වීමි. එනිසාම 1983 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂය සඳහා මට ‘D’ හෙවත් විශිෂ්ට සාමාර්ථයක් හිමි විය. ‘පල්ලෙවෙල සර්’ නිසා මට හොඳින් ලියුම් ලිවීමට හැකිවිය. පසු කලෙක උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂය තෝරා ගත් නිසාත් කාලෙකට පසු ලියුම් නොලියූ නිසාත් පසු කලෙක ලියුම් ලිවීමේ හැකියාව මා කෙරෙන් ඈත් විය. SMS හෙවත් කෙටි පණිවිඩ සහ සින්ග්ලිස් හේතුවෙන් එය තවදුරටත් දුෂ්කර කටයුත්තක් විය.

හිතවත් අනුර, දැන් වෙලාව රාත්‍රී 11.35. මේ මහා රෑ ජාමයේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙමින් සිටියදී ඔබට ලිපියක් ලියන්න සිතුනේ විශේෂ කාරණයක් හේතුවෙනි.

ප්‍රිය මිතුර අනුර, ඔබ මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ සාර්ථක ජන හමු දෙකක් අවසන් කර තිබෙන බව මම දනිමි. 28 වෙනිදා ලොස් ඇන්ජලීස් හී පැවති ජන හමුව මට අනුව නම් ඓතිහාසික ජන හමුවකි. මා දන්නා පරිදි වසර පනහක් ඉක්මවා ඇති ජනතා විමුක්ති පෙරමුණ නායකයෙකු එක්සත් ජනපදයට ගොස් එහි සිටින ශ්‍රී ලාංකිකයන් අමතන පළමු අවස්ථාව මෙයයි. 1983 දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූවෙකු ලෙස මටනම් එය පුදුමයකි. අමතක කළ නොහැක්කකි. ඓතිහාසික සලකුණකි. නොමැකෙන සන්ධිස්ථානයකි.

එය මා හැර මගේ පන්නයේ නොවන අන් අයට එසේ නොවන බව මම දනිමි. ඔවුන් කිසිවෙකුටත් එවැනි හැඟීමක් ඇති නොවීම මට අනුව නම් පුදුමයට කරුණක් නොවේ. අප බොහෝ දෙනෙකු පසුකර ආ සටහන් තබා ගැනීමටවත් ඉස්පාසුවක් නොලත් දුෂ්කර කාලපරිච්ඡේදයන් අමතක කළ නොහැකි මා සමකාලීනයන්ට හැර අන් කිසිවෙකුටත් ‘අනුරගේ අමෙරිකා ගමන’ ගමේ සිටි අප කොළඹ ආවාටත් වඩා සරල කාරණයකි.

හිතවත් අනුර, ඔබේ එක්සත් ජනපද ජනහමු දෙකක ආශ්වාදය විඳිමින් සිටි මට අද රාත්‍රියේ අපූරු ෆේස් බුක් සටහන් දෙකක් දක්නට ලැබුණි. එකක් බොහෝ දේශපාලන විරසකයන්, නොගැලපීම් තිබියදීත් මා ඇසුරු කරන මා මිතුරු අජිත් පැරකුම් ජයසිංහ හෙවත් ‘පැරා’ගේ සටහනකි. දෙවැන්න වැඩි දෙනෙක් නොදන්නා සිසිර මුණසිංහ නම් අයෙකු share කළ සටහනකි.

පැරකුම් ගැන අපි බොහෝ දෙනෙක් දන්නා නිසා මම සිසිර මුණසිංහ ගැන දන්නා යමක් සටහන් කරමි.

මා ඔහු අමතන්නේ ‘සිසිර මල්ලී’ ලෙසිනි. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ රැකියාව කරන සමයේ මම ඔහු හැඳිනගතිමි. කිසිඳු අහංකාරකමක්, උඩගු බවක් නැති ඔහු සුන්දර තරුණයෙකි. කලෙක රාජපක්ෂලා හා ඇසුරේ රැකියාව කළ සිසිර, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම ඉන් ඉවත් වූ පසුව ඔවුන් සමඟ ඉවත් ව ඩලස්ලාගේ නාවල පිහිටි කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් එම කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකරන කටයුතු කරමින් සිටියි. දකින ඕනෑම මොහොතක සරල, සුන්දර. සැහැල්ලු, මිත්‍රශීලී ඇසුරක් ඇති සිසිර බෙදාහැර ඇත්තේ අන් අයෙකුගේ සටහනකි.

ලොස් ඇන්ජලීස් ජනහමුවේ ඡායාරුපයක් සමඟ එහි සටහන්ව තිබුණේ ‘උතුරු නැඟෙනහිර සිංහලයන් ගැන අමෙරිකාවේ දී අනුරගෙන් ප්‍රශ්න කලාම ජේවීපී සංවිධායකයන් මයික් ඒක උදුරා ගනියි’ යනුවෙනි.

මා මිතුරු අජිත් පැරකුම් ජයසිංහගේ ෆේස් බුක් සටහනේ තිබුණේ මෙවැන්නකි.

“මිනිරන්වලින් ග්‍රැෆයිට් හදනවාය කියල මොනවද ඔය අනුර කියන්නෙ? මිනිරන් ඉංග්‍රීසියෙන් ග්‍රෑෆයිට්. (දැනුයි කතාව ඇහුවෙ. මොක්කුද මේ?)”

හිතවත් අනුර, මේ ෆේස් බුක් සටහන් දෙක නිසා ලොස් ඇන්ජලීස් ජනහමුව පිළිබඳව මගේ ආශ්වාදය බිඳී ගියායි මම නොකියමි. එහෙත් ඒ සටහන් දෙක විසින් මා තවදුරටත් සිතීම සඳහා පෙළඹවූ බව නම් ඇත්තකි.

අනුර මිතුර, මම ඔබේ ලොස් ඇන්ජලීස් කතාව සජීවීව අන්තර් ජාලය ඔස්සේ අසා සිටියෙමි. ඔබ මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා යැයි කියූ කතාව ඇසිමී. එය වැරදි වචන භාවිතයක් බවද දනිමි. එහෙත් ඔබ සහ ජාතික ජන බලවේගයේ බොහෝ දෙනා විසින් මීට ඉහත බොහෝ වාර ගණනක දී මිනිරන් සහ ග්‍රෑෆීන් පිළිබඳව කළ යෝජනා අසා තිබූ නිසා ඒ වචන පටලැවිල්ල මට එතරම් ම වැදගත් නොවුනි. අමුවෙන් මිනිරන් රට යවනවාට වඩා එය ග්‍රෑෆීන් බවට පත් කර අපනයනය කිරීමේ වාසිය ඔබ සහ ඔබ කණ්ඩායම විසින් පුන පුනා කියා තිබීම නිසා මිනිරන් – ග්‍රැෆයිට් – ග්‍රෑෆීන් වචන පිළිබඳව එල්ලී සිටීම මගහැර මම ඔබේ ලොස් ඇන්ජලීස් කතාවේ හරය සහ අන්තර්ගතය දෙස සවන් දුනිමි. එනිසාම වැරදි වචන සහ වචනය නිවැරදිකර ඇසුවෙමි.

එහෙත් මා මිතුරු අජිත් පැරකුම් ජයසිංහ එසේ නොවුනි.

සිසිර මුණසිංහත් එසේම ය. ඔබේ ලොස් ඇන්ජලීස් කතාව නොඅසා වෙනත් කිසිවෙකුගේ ෆේස් බුක් සටහනක් බෙදා හැර තිබුණේ එය ඇත්තක් ලෙස අනුමාන හෝ උපකල්පනය හෝ බලාපොරොත්තුවක් ලෙසිනි. ප්‍රස්තුත ප්‍රශ්නය නැගූ අයට ඔබ ලබාදුන් පැහැදිලි පිළිතුර සොයා බලන්නට සිසිර මුණසිංහට ඉවසිල්ලක් නොවිණි.

මා ප්‍රිය මිතුර අනුර,

ඔබ නායකත්වය දෙන, මගේ ආදරය සහ බලාපොරොත්තුව පවතින ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යාපාරය දෙස ගැඹුරින් තක්සේරු කිරීමට මේ සටහන් දෙකම හොඳින් මගපාදන බව මගේ හැඟීම යි.

හිතවත් අනුර, දැන් ජාතික ජන බලවෙගයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් වචනයක, අකුරක, ඇලපිල්ලක්, පාපිල්ලක, ඉස්පිල්ලක වරදීමකට ඉඩක් නැත. දැන් ඔබටත් ඔබ නායකත්වය දෙන මා බලාපොරොත්තු තබන දේශපාලන ව්‍යාපාරයටත් දශමයක් අතපසුවීමකට, උච්චාරණ වැරැද්දකට ඉඩක් නොමැත. ඇත්තේ වඩාත්, වඩ වඩාත් නිවැරදි දේ ට ඉඩක් පමණකි.

ලොස් ඇන්ජලීස් හී පැය දෙකකුත් විනාඩි විසිහතක් ඉක්ම වූ ඔබේ කතාවේ එකම එක වචනයක වැරැද්ද අත්අඩංගුවට ගැනීමට අජිත් පැරකුම් ජයසිංහ මා මිතුරාට හැකිව තිබිණි. ඒ වැරැද්ද වෙනුවෙන් අජිත් පැය දෙකයි මිනිත්තු විසිහතක් නිසැකවම වැය කරන්න ඇතැයි ඔහු ගැන යම් පමණකට දන්නා මිතුරෙකු ලෙස මම විශ්වාස කරමි.

හිතවත් අනුර, එතරම් කාලයක් වැයකරමින් අජිත් පැරකුම් ජයසිංහ මිනිරන් සහ ග්‍රැෆයිට් පිළිබඳව වන වැරැද්ද සොයාගෙන ඒ පිළිබඳව තබා තිබෙන සටහන යලිත් සාවධානව කියවන්න.

මම එය යලිත් උපුටා පළකරමි.

“මිනිරන්වලින් ග්‍රැෆයිට් හදනවාය කියල මොනවද ඔය අනුර කියන්නෙ? මිනිරන් ඉංග්‍රීසියෙන් ග්‍රෑෆයිට්. (දැනුයි කතාව ඇහුවෙ. මොක්කුද මේ?)”

ඒ වචන දාසයේ ඇත්තේ කුමන ස්වරයක්ද. මොන ආකාරයේ අදහසක්ද. ඒ තුළ ඇත්තේ ජාතික ජන බලවේගයේ නායකයාට විද්‍යාව බැහැ, ඉංග්‍රීසි බැහැ යන අදහසක් නොවේද. කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා විෂයන් හදාරපු ඔබ මිනිරන් සහ ග්‍රෑෆයිට් නොදැන සිටීම පැරා ට ඉවසුම් නොදේ. ඔහු ඒ පිළිබඳව කිපෙයි. නොසතුටු වෙයි. එනිසාම ඒ තනි වචනය හැර ඔබ ලොස් ඇන්ජලීස් වලදී කියූ අන් හැම වචනයක්ම ඔහු අතහැර දමයි.

ප්‍රිය මිතුර අනුර, මේ සිදු වන්නේ කුමක්ද?

මේ ප්‍රකාශ වන්නේ “දැන් තවත් අනුරට වැරදි කර කර ඉන්න අවස්ථාවක් නැහැ” යන්න නොවේද. එකඟ නොවෙන්නන් පවා දැන් ඔබට වරදින්න අවස්ථාවක් නොදී ඉන්නට එකඟ වෙමින් සිටියි.

මිතුර අනුර, මා දකින ආකාරයට ඔබ පදවමින් සිටින්නේ විසල් නෞකාවකි. ඔබ එහි කප්පිත්තා ලෙස හිඳවනු ලැබුවේ ඔබ ඊට අදාළ සුදුසුකම් ලබන්නට බොහෝ පෙරයැයි මම සිතමි. ඔබ අතට අද ඔබ පදවන නැවෙහි වගකීම ලැබුවේ මේ නැව බොහෝ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටිය දී යි. බොහෝ පළපුරුදු කප්පිත්තන් ජීවිතාරක්ෂක බෝට්ටු මගින් නැවේ සෙසු කාර්යය මණ්ඩලයත් මගීනුත් අතහැර පැනගොස් තිබිණි. සමහරු ඕනෑම වගකීමක් දරන්නට එකඟ වුවත් නැවේ කපිතාන් තනතුරට එකඟ වී නොතිබිණි. ගැඹුරු මුහුදේ දී ඔබ අතපත් නැව දැන් මට පෙනෙන්නේ නෝවාගේ නැව මෙනි.

නෝවාගේ නැවේ හැමකෙක්ම සිටි බව අපි දනිමු. ඔබ නායකත්වය දෙන, මම ආදරය කරන සහ බලාපොරොත්තුව තබන ජාතික ජන බලවේගයත් එවැනි නැවකි. එහි නැත්තෙක් නොමැත. 1965 දී රෝහණ විජේවීර සහෝදරයා මේ රටට හදුන්වාදුන් පූර්ණකාලීන වෘත්තීය දේශපාලනඥයෝ මේ නැවේ කාර්යය මණ්ඩලයේ සිටිති. විවිධ ක්ෂේත්‍රවල ප්‍රමාණික බුද්ධිමත්හු මේ නැවේ දී අපට මුණ ගැසෙති. නැවේ තට්ටු මත නාවිකයෝ, කම්කරුවෝ, ආරක්ෂකයෝ, සහන සේවකයෝ, කෝකියෝ, සූපවේදියෝ, ගායකයෝ, නළුවෝ, විකටයෝ පමණක් නොව කරන්නට වෙන කිසිවක් නොවූ මා වැනි අයද මේ නැවේ සිටිති. හැකිනම් මේ නැවේ නැත්තෙක් නම් කිරීමේ අභියෝගය කිසිවෙකුට හෝ බාරගත හැකිය. මේ නැව එතරම් සංකීර්ණ කාර්යය මණ්ඩලයකින් මෙන්ම මගීන්ගෙන් සමන්විත නැවකි.

හිතවත් අනුර, මා දන්නා පරිදි ඔබ නායකත්වය දෙන මගේ ආදරය සහ බලාපොරොත්තුව රැඳී ඇති ජාතික ජන බලවේගය මේ සමාජයේ විවිධ සමාජ තීරු එකට ගැට ගසන පංති සමාජය සිසාරා යන බලවේගයකි. විවිධ ජන අනන්‍යතාවන් එක් කරනු ලබන පොදු සමාජ ව්‍යාපාරයකි. අපි එකිනෙකා වෙන්වෙන්ව කැමති වුවත් අකමැති වුවත් දෑස් ඉදිරිපිට විද්‍යාමාන වන සත්‍ය එයයි.

අනුර දිසානායක වන ඔබ සතු පුද්ගල ප්‍රතිභාව මත පමණක් නොව පරම්පරා ගණනාවක උතුරේත් දකුණේත් මිනිස් සමුහයකගේ අත්දැකීම් සහ බලාපොරොත්තුව මත ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රගතිශීලී බහුජන එකතුව ඉදිරියට ඇදෙමින් සිටියි. දැන් ඔබ හෝ අන් කිසිවෙක් කිනම් හෝ මොහොතක කිනම් උත්සහයක් දැරුවත් එය නතර කළ නොහැකි ගමන් වේගයක් ලබාගනිමින් තිබේ.

දැන් ඔබ දෑත් මත වන ජාතික ජන බලවේගය නම් වූ නෞකාව සැඩ සුළං, දිය සුළි, අනෝරා වැහි පැවති දුෂ්කරම ඉම පසුකරමින් ගොඩබිම වෙත සේන්දු වෙමින් තිබේ.

අඩුම තරමින් මිනිරන් – ග්‍රැෆයිට් – ග්‍රෑෆීන් වැනි වචනයක වැරද්දකටවත් දැන් ඉතින් ඉඩක් නැත.

හරියටම නැව වගේමය. ගොඩ බිම පෙනෙන මානයේ දී නැවේ කප්පිත්තාට විවේකයක් හෝ අත්වැරද්දට අවස්ථාවක් නැත. පැය දෙකකුත් මිනිත්තු විසි හතක ධාවන කාලයක් අතර තත්පර කිහිපයක් අත්වැරැද්දක් නිසා අජිත් පැරකුම් මිතුරා කිපෙන්නේ ඒ නිසාවෙනි.

දැන් මිතුරාගෙන් සමාව තිබුණත් සතුරාගෙන් – සමහර විට දරුණු විවේචකයාගෙන් – නොඑසේනම් ගරහන්නාගෙන් සමාවක් ඇත්තෙම නැත. ඔහු මිතුරාටත් වඩා මේ බලවේගයේ ජයග්‍රහණය සුපැහැදිලිව දකියි. අවිඥානිකව එය බලාපොරොත්තු වෙයි, ප්‍රාර්ථනා කරයි. ඒ නිසාම අප බොහෝ දෙනෙක් දන්නා මා මිතුරු අජිත් පැරකුම් ජයසිංහ සහ වැඩි දෙනෙක් නොදන්නා ඩලස් අලහප්පෙරුම කණ්ඩායමේ සිසිර මුණසිංහත් එක පෙළට සිටින්නේ ඒ නිසාවෙනි.

මේ කිසිවෙකුත් මේ රටත් සමාජයත් පවතින ආගාධයට ඇද දැමූ පාලකයන් සහ පාලක කණ්ඩායම් ගැන වචනයක් හෝ නොපවසයි. දැන් මේ පාලකයන් කියන්නේ 75 වසරක් මේ රට කළ දේ වැරදි බවය. යලිත් ඒ වැරැද්ද නොකළ යුතු බවය. දැන්වත් නිවැරදි මාවතක යා යුතු බවය.

“ඈ යකෝ ඒ වැරදි කළේ අපිද තොපිද” කියා අසන්න කිසිවෙකුත් ජාතික ජන බලවේගය දෙස මිතුරු නොවන ආකල්පයෙන් බලාසිටින අය අතර දක්නට නැත. එහෙත් ඒ සියල්ලන්ම ඔබෙන් හෝ ඔබ කණ්ඩායමෙන් අත්වැරැද්දක් කටවැරද්දක් වූ සැනෙන් කිපෙයි. දන්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ පසුපස පන්නයි. පන්න පන්නා පහර දෙයි.

1948 සිට එතැනින් මෙතැනටත් මෙතනින් යලි එතැනටත් මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය, විදෙස් ප්‍රතිපත්තිය, රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කළ උදවිය තාමත් බලයේ හිඳිති. බලය ගන්නට පොරකති. එදා කියූ දේ මෙදා වෙනස් කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූවාට පෙර කී උදවියට වගේ වගක් නැත. එහෙත් අනුරට වරදින්නට බැරිය. ජවිපෙට සිය ප්‍රතිපත්ති වෙනස් කරන්නට බැරිය. ජාතික ජන බලවේගයට ආර්ථික වැඩ පිළිවෙල ගැන පේලි දෙකතුනකින් සරලව පැහැදිලි කරන්නට බැරිය.

හිතවත් අනුර, ඔබ මෙරට ආර්ථිකය පිළිබඳව ජාතික ජන බලවේගයේ දැක්ම පිළිබඳව පුන පුනා වාර ගණනක දී පවසයි. එය පාසලක පංති කාමරයක දී කියා දෙන තරමටම සරලව පවසයි. ට්‍රිලියන ගණනක් මේ රටේ ණය බර අවසන් කරන ඔබේ ක්‍රමය ගැන කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සබඳතා ඇති කරගනිමින් එහි සහය ගන්නා ආකාරය පැහැදිලි කරයි. චීනය සහ ඉන්දියාව මෙන්ම ජාත්‍යන්තර දේශපාලනයේ දී ජාතික ජන බලවේගයේ පාලනයක දී රටක් ලෙස ගනු ලබන ස්ථාවරය පැහැදිලි කරයි. එහෙත් ඇතැමුන්ට එය නෑසේ.

‘අනුර කිව්වට කොරයි’ කියා කීමට ඇතැම් දෙනෙක් පෙළඹේ.

හිතවත් මිතුර, දැනට මාස තුනක කාලයක සිට මම දිනපතා ගමන් යාමට ඌබර් හෝ පික්මී ත්‍රී රෝද භාවිතා කරමි. එය අපූරු අත්දැකීම් ලැබීමට සහ සමාජය පිළිබඳව අවබෝධයක් ලැබීමට වක්‍රව අවස්ථාව මට ලබා දී තිබේ. ආසන්න වශයෙන් ගෙවුණු මාස තුන තුළ මා ගමන් කළ ත්‍රී රෝද රථ ප්‍රමාණය 180 ඉක්මව යි. මේ ත්‍රී රෝද රථ ධාවනය කරන්නන් අතර විශාල පැතිරුණු සමාජ තීරුවක් මට මුණ ගැසෙයි. ඔවුන් පිරිමින් පමණක්වීම විශේෂයකි.

සාමාන්‍යයෙන් කතාවට ලැදී මම මේ කිසිම අවස්ථාවක රියදුරු සමඟ කතාව අත්නොහලෙමි. ඔවුන් විවිධ වයස් කාණ්ඩ වලට අයත්, විවිධ ප්‍රදේශ නියෝජනය කරන, විවිධ ජාතීනට අයත් අයවලුන්ය. ඔවුන් අතර බොහෝ දෙනෙක් වෙනත් රැකියා කරන මාසික වැටුප් ලබන්නෝ වෙති. සමහර දෙනෙකුට නවතැනක්වත් කොළඹ දී නැති අතර ඔවුන්ගේ නිදන කාමර වන්නේ ත්‍රී රෝද රථය යි. විහාර මහාදේවී උද්‍යානය වටා රැය පහන් කරන මේ ඌබර් හෝ පික්මී ධාවකයන් උදෑසන එහි ඇති වැසිකිලියට ගොස් සිය ශරීර කෘත්‍යයන් කර යලි උදෑසනම දුවන්නට පටන් ගනියි. අතට අහුවන දෙයක් අහුවෙන වෙලාවක දී අහුවෙන කඩයකින් ගිලදමා කුසගින්න නිවා ගනියි.

විශේෂයෙන් රාත්‍රී ඌබර් හෝ පික්මී ත්‍රී වීල් ධාවනය කරන්නන් බොහෝ දෙනෙකු රජයේ රැකියා කරන්නන්ය. ඔවුහු එක්කෝ පොලිසියේ අය වෙති. නැත්නම් හමුදාවේ අය වෙති. රෝහල් සේවකයන් වෙති. රජයේ සේවයෙන් වන්දි රැගෙන ඉවත් වුවෝ වෙති.

මම ඔවුන් හා කතාව පටන් ගන්නේ ආණ්ඩුවේ පැත්ත ගනිමිනි. ඒ කතාව අවසන් වන්නේ ඌබර් හෝ පික්මී රියදුරන් විසින් ආණ්ඩුවේ පමණක් නොව මුළු මහත් පාලනයේම අසාර්ථකත්වය මට පහදා දෙමිනි. ‘වැඩක් නැහැ මහත්තයා, ආයේ අහුවෙන්න එපා, මෙදා පාර ජේවීපී එකට දෙන්න’යි ඔවුහු මගෙන් ඉල්ලති.

මෙහිදී ජාතික ජන බලවේගය ගැන ඔවුන් දැන සිටියත් ඔවුන් කියන්නේ ‘ජේවීපී’ ගැන වීම විශේෂයක්.

මගේ කොණ්ඩය වැවුණු විටෙක මම කොණ්ඩය කපා ගැනීමට අහුවෙන සැලුන් එකකට යමි. ඒ කොණ්ඩය කපන තුරු හැමදාමත් අලුත් බාබර් කෙනෙකු සමඟ කයිවාරු ගැසීමේ පුරුද්ද නිසාවෙනි. කොණ්ඩය කැපීම පටන් අරන් ටිකකින් බාබර් ඔහුගේ දේශපාලන විග්‍රය අරඹයි. ආණ්ඩුවේත් ආණ්ඩුවේ උදවියගේ හත්මුතු පරම්පරාවේත් පලු අරියි. අනුරගේ හොඳ කියයි. අහවල් කතාව, අහවල් කතාව ඇසුවේ නැද්දැයි අසයි. මගේ නම්බර් එක ඉල්ලයි. ඒ කතා මට එවන බව කියයි.

“මහත්තයා අපි ජේවීපී කාරයෝ නෙමෙයි. හැබැයි මේ පාර දෙන්නේ එයාලට. එක්කෝ එයාලා මේක හදයි. නැත්නං ඕන මඟුලක් කර ගනියි. ඒත් කමක් නැහැ මුන්ට දුන්නා මදැයි” ඔවුහු පවසති.

මාධ්‍ය හමු සඳහා මම අගනුවර මෙන්ම ඉන් පිටටත් ඇති බොහෝ හෝටල් වලට යමි. ශ්‍රැංග්‍රිලා මෙන්ම සිනමන් හෝටල් සමූහය, ටාජ් සමුද්‍ර, හිල්ටන්, කින්ස්බරි ඇතුළු සියලුම හෝටල් ඒ මාධ්‍ය හමු සඳහා සත්කාරය සපයයි. එහි ගිය පසු කන බොන වෙලාවේ දී හෝටල් කාර්යය මණ්ඩලය සමඟ හීන් කයියක් ගසමි. අදහස් විමසමි. දැන් කොහොමදැයි අසමි. ඒ හැම තැනකම ඇත්තේ ‘මේ පාර නම අනුරලට තමයි’ යන්නයි.

මාගේ මිතුරන් අතර මේ සමාජයේ බොහෝ තීරු නියෝජනය කරන්නෝ වෙති. ඒ අයගේ සමීප සාද වෙත මා ආරාධිත අමුත්තෙකි. ඔවුන් මා අනෙකාට හඳුන්වා දෙන්නේ “මේ මචං හොඳ ජේවීපී කාරයෙක්” යනුවෙනි. ඇත්තටම මම දැන් එසේ නොවුනත් ඔවුහු එසේ හදුන්වති. එතැන් පටන් අත ඇති මධුවිත රැගෙන ඒ සාද අතර වන බොහෝ දෙනා මා හා කයිය පටන් ගනිති. “මොකෝ මචං දැන් වෙන්නේ. මේ පාර පුළුවන් වෙයි නේද” යි ඔවුහු බලාපොරොත්තු සහගතව විමසති. ඒ අතර වන බොහෝ දෙනා අනුර කුමාර දිසානායක සමඟ වන අතීත සබඳතා ගැන කියයි. “අපි මචං ඒ කාලේ මීට් වෙලා තියෙනවා. උඹ හම්බ වෙච්ච වෙලාවක මම ගැන කියපං. මේ පාර අපේ ගෙදර හැමෝම එයාලට සපෝර්ට් කියපං. දැන් ඇති බං මේ පරිප්පුව කෑවා” කියති. පෙර මෙන් ඔබ අපට මුණනොගැසෙන බවත්, දුරකථන ඇමතුමක්වත් නොගන්නා බවත් ඔවුහු නොදනිති. එහෙත් ඔවුහු ඔබට කියන්නයි අපට බොහෝ දේ කියති.

මලගෙදරකට, පොත් දොරට වැඩීමකට, කුඩා බාර් එකකට, පොළට, කරවල කඩයකට ගියත් මේ තත්වය අඩුවක් නැත. ඒ ගැන සමහරු කියන්නේ “බලාගෙන මචෝ ඕකුන් හරි භයානකයි. ඔකුන්ම තමයි ඔය මහින්දලාව ගෝටලාව ගෙනාවෙත්. දෙන්නන් දෙන්නන් කියලා අන්තිමට ඕකුන් අරුන්ටම දෙයි” කියාය.

මා හිතවත් ප්‍රිය මිතුර අනුර, මේ සෑම තැනක ඇත්තේ බලාපොරොත්තුවකි. වෙනස්වීමකි. ඔබ දිහා බලාසිටින දෑසකි.

ඒ අතරම තවත් පිරිසක් මේ සමාජයේ පොදු බලාපොරොත්තුව නොඉවසයි. අවලාද, අපවාද, අපහාස නගයි. එකම ප්‍රශ්නයට එකම පිළිතුර ලැබෙද්දීත් වෙනස් උත්තරයක් ඉල්ලමින් ඒ ප්‍රශ්නයම වර නගයි. මේ සමාජ ව්‍යාපාරයට සහය දෙන්නන් වෙත අවඥාවෙන් බලයි. ඔවුන් දන්නා දෙයක් නැතැයි කියයි. දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජවිපෙට වෙනස් විය නොහැකි බව කියයි. ඒ වෙනුවෙන්ම සිහින දකියි. ප්‍රාර්ථනා කරයි.

මේ සියල්ල අතර ඔබ පදවන නැව අනතුරුදායක කැළඹුණු මුහුදු සීමාව පසුකර දැන් ඉවුර පෙනෙන මානයේ ය. ඉවසීමත් සුක්ෂම බවත් වඩ වඩාත් නිවැරදි බවත් දැන් ඔබටත් අපටත් අවැසි මොහොතයි මේ.

මේ වගකීම ඔබ මත තැබූ දා සිට ඔබ ගෙවූ දිවියට වඩා අතිශය දුෂ්කර, වෙහෙසකර, කාර්යය බහුල, සංකීර්ණම මොහොත දැන් එළැඹෙමින් තිබේ. මා දන්නා ඔබ සරල, සුන්දර, සැහැල්ලු මිනිසෙකි. කෙනෙකු සමඟ වරු ගණන් දෙඩිය හැකි මිතුරෙකි. දැන් ඒ සමය අවසන් වෙමින් ඇත.

එලෙසම තනිව හුන් අනුර කුමාර දිසානායකට වඩා කාර්යය බහුල අනුර කුමාර දිසානායකට සමීපව සහය දෙන විසල් පිරිසක් හිඳියි. ඔවුහු මග කියති. තර්ක කරයි. එකඟ නොවෙයි. යලි තර්ක කරයි. එකඟ වෙයි. වෙනස් කරයි. වෙනස් වෙයි. ධෛර්ය ගනියි. ධෛර්ය දෙයි. හමුවෙයි. විසිරෙයි. දිවා රෑ පුරා වෙහෙසෙයි. අලුත් පරපුරක ශ්‍රමය, පැරණි පරපුරේ අත්දැකීම් එක මේසයකට රැගෙන එයි. එය වෙනසකි.

ලෝකය වෙනස් වන බවත් වෙනස් කරන බවත් වෙනස් කළ හැකි බවත් දන්නා බොහෝ දෙනා ඒ වෙනසට බියව හිඳිති.

ඒ අතර ජාතික ජන බලවේගය වටා එකතුව සිටින ලොකු කුඩා මිනිසුන් සිය දහස් ගණනක් ඒ වෙනස වෙනුවෙන් කුහුඹුවෝ සේ වෙහෙසෙති. ගමින් ගම දොරින් දොර යති. විවිධ උදවිය හමුවෙති. කුස්සියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ලොකු කුඩා බොහෝ දෙනා එක රෑනක රැස්කරති.

ඔබ හා සම සමව වෙහෙසෙමින්, විටෙක ඔබටත් වඩා වැඩියෙන් නොනැවතී වෙහෙසෙමින් අවසානයේ අවසානය තෙක් අත්නොහරින මිනිස් සමූහයක් දැන් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වැඩ කරනු මම දැක ඇත්තෙමි.

“දැන් වගේද මචෝ ඒ කාලේ” කියන්නන් අතර මේ වෙහෙසෙන මිනිස් සමුහයා ආශ්චර්යයකි. ආශ්වාදයකි. බලාපොරොත්තුවකි.

ප්‍රිය මිතුර අනුර, මේ ලිපියේ ආමන්ත්‍රණය ඔබ වූවාට ඔබත් සමඟ සම පියවර තබමින් එන මා නමින්ම දන්නා නොදන්නා බොහෝ දෙනාට ගෞරවයෙන් යුතුව ලියූවකි.

ඒ අර්ථයෙන් මේ ලිපිය මා විසින් මට ම ලියූවකි. මා වෙතම අභියෝගය හරවා ගැනීමකි. මා දෙසම බැලීමකි.

මා හා සම්මුඛ වූ බොහෝ දෙනා දැන් අපේය. අප සමඟ ය. එහෙත් එපමණක්ම ඇතැයි මම නොසිතමි. ත්‍රී වීලයේ දී සැළුන් දොර ඇතුලේ දී බාර් එකේදී තරු පන්තියේ වන නොවන අවන්හල් වලදී මිතුරු සාදයේ දී මට හමුවන බොහෝ දෙනා තවත් බොහෝ අයට හමුවන බව මම දනිමි. ඔවුහු අපට සහය දෙන බව කියති. ඒත් එපමණක්ම ප්‍රමාණවත්ද.

අනුර දිසානායක නම් වූ ඔබ ලොස් ඇන්ජලීස් හී දී සතුරා සතු සම්පත් සහ බලය පිළිබඳව අවතක්සේරුවකින් තොරව පැහැදිලි කිරීම මම අගය කරමි. සතුරාට මාධ්‍ය බලය, ධන බලය සමඟම රාජ්‍ය බලයත් ඇති බව ඔබ පැවසීම සත්‍යයකි. ඒ සියල්ල එක්ව පරාජය කළ හැක්කේ සංවිධානාත්මක පිරිස් බලයෙන් පමණෙකි. දැනටත් වඩා හෙටට අවශ්‍ය වන්නේ එය බව මාගේ විශ්වාසයයි.

හිතවත් අනුර, දැන් ඔබටත් වඩා වෙහෙසිය යුත්තේ මම ය. අප ය. ඔබටත් වඩා වැඩි වගකීම ඇත්තේ අපට ය. මට ය. ඔබ ඔබේ කාර්යය සිතුවාටත් වඩා හොඳින් ඉටුකර තිබේ. ඉටු කරමින් තිබේ. දැන් ඇත්තේ අපේ අවස්ථාව යි.

දැන් මිතුරාටත් වඩා අපට එකඟ නොවන්නා අපේ අතපසුවීම් නොඉවසයි. ඒ දුටු තැන වහා කිපෙයි. බැණ අඩගහයි. දෙස් දෙවොල් තියයි. බැරි තැන අතර අසුවන දෙයින් ඔබටත් අපේ ව්‍යාපාරයටත් දමා ගසයි. ඒත් බැරිනම් සොටු කඳුළු පෙරමින් හඬයි. අඩුම තරමින් ඔවුන්ට සතුට ගෙන එන්නට ඔබට මෙන්ම අපටත් වගකීමක් නොතිබේද?

හිතවත් අනුර, මේ ලේඛනය ටිකක් දිගය. එහි වගකීම ඇත්තේ මට සිංහල ඉගැන්වූ පල්ලේවෙල සර් අතය. දැන් මේ දිගට ඇදෙන ලිපිය අවසන් කළ යුතුය. මෙවැන්නක් විවෘත අවකාශයේ ලියන්නට මා පෙළඹවූ ෆේස් බුක් සටහන් දෙක පළකළ පැරා ට සහ සිසිර මල්ලීට ස්තුතිවන්ත වෙමි.

හිතවත් මිතුර, කිසිඳු වැරද්දකින් තොරව ජයග්‍රහණයෙන් මෙපිට නොනැවතී අපි මේ ගමන අවසන් කරමු. යුග ගණනක් බලාපොරොත්තු අත්නොහළ මේ මහා මිනිස් සමාජය වෙත ජයග්‍රහණය පමණක්ම ගෙනෙමු.

ස්තුතියි,

මා ඔබේ මිතුරු,

සිසිර යාපා

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!